රටේ බංකොලොත්භාවය ඉවත්කරලීම ජනපතිගේ මූලික අරමුණයි – එජාප සභාපති වජිර අබේවර්ධන

45

නිවැරැදි විදේශ පන්තියක රට ගමන් කරනවා

IMF දෙවන වාරිකයත් ඉදිරියේ අප රටට ලැබේවි. රටේ බංකොලොත්භාවය ලබන මාසය තුළ කෙසේ හෝ ඉවත්කරලීම ජනපති අරමුණයි. ජනතාවට සිහින මවන විපක්ෂයේ දේශපාලනය පසුපස ගියොත් රටත්, ඔබත් විපතට පත්වෙන්න පුළුවන්.” යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ගාල්ලේදී උත්සවයකින් පසු අදහස් දැක්වූ අබේවර්ධන මහතා,

ලෝක බලවතුන් ඉදිරියේ නිවැරැදි විදේශ ප්‍රතිපත්තියක් ජනාධිපතිතුමා අනුගමනය කරනවා. එම ප්‍රතිපත්තිය කලින් කලට වෙනස් විය යුතුයි. ලෝකය ගමන් කරන සුළඟ දෙස බලා අපත් ගමන් කළ යුතුයි.

පාර්ලිමේන්තුවේදී පසුගිය පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයක් පැවැත්වුණා.

දීර්ඝ කාලයක් තිස්සේ අපි බෙදෙනවා. වෛර කර ගන්නවා. භේද ඇතිකර ගන්නවා. මේ දේවලින් අපි විනාශ වෙන එකමයි. මේ සඳහා තිබෙන එකම විකල්පය එකමුතුවී වාඩිවෙලා. ප්‍රසිද්ධියේ විවාද කර ගැනීම නොවෙයි. සාකච්ඡා මාර්ගයෙන් මේ සඳහා විසඳුමක් සොයා ගැනීමයි.

ලෝකයේ බලවතුන්ගේ සහ ලෝකයේ විවිධ පාර්ශ්වයන්ගෙන් තිබෙන තර්ජන ගර්ජන සමඟ කොහොමද ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස කටයුතු කරන්නේ? ඉතින් අපි මේ මොනවා කතා කරත් වැඩක් නැහැ. ජාතික එකඟතාවයක් ඇති කර ගන්න බැරි නම්, මේ විවාදයත් අවසානයේදී ජාතික බෙදීමක් ඇති කිරීමට පැවැත්වූ විවාදයක් බවයි මගේ හැඟීම වෙන්නේ.

නිදහසින් පසු අවුරුදු 75 ක් පුරා මැතිවරණ පවත්වලා සියලු දෙනා කුලල් කාගෙන රට කඩාගෙන බිම දාලා තිබෙනවා. ජනාධිපතිවරණයක් පවත්වන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සල්ලි අයවැයෙන් වෙන් කළත් නොකළත් තියන්න පුළුවන්. ඒ ගැන කවුරුවත් කලබල වෙන්න ඕනෑ නැහැ.

ඒ ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් නියමිත කාලයේදී මුදල් වෙන්කර තිබුණත්, නොතිබුණත් ඉදිරියේදී සම්මත කර ගැනීමේ අරමුණින් මැතිවරණය පවත්වන්න. ඒ නිසා මේ ගැන කවුරුවත් කලබල විය යුතු නැහැ. නියමිත වේලාවට අවශ්‍ය කරන ජනාධිපතිවරණය පැවැත්වේවි. පාර්ලිමේන්තු මැතිවරණයත් එසේමයි.අනිත් මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නෙමෙයි. වෙනත් අණපනත් යටතේ තිබෙන රෙගුලාසි.

හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල – ලලිත් චාමින්ද , එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment