රාජ්‍ය ඇමැති රණවීරගේ පමුණුවිල නිවසට මැර ප්‍රහාරයක්

141

සැකකරුවන් අල්ලන්න සීසීටීවී ඔස්සේ විමර්ශන

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාට අයත් සපුගස්කන්ද, ගෝනවිල, පමුණුවිල ප්‍රදේශයේ පිහිටි නිවසට නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පෙරේදා (18 දා) රාත්‍රි එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මුරකරු පමණක් නිවසේ සිට ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුවී නැත.

ප්‍රහාරයට පැමිණි පිරිස ප්‍රසන්න රණවීරගේ පුත්‍රයාගේ නම කියමින් ඔහු සොයා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. ප්‍රහාරයෙන් රාජ්‍ය ඇමැතිවරයාගේ නිවසේ දොර ජනෙල්වලට හානි සිදුවී තිබේ.

නිවස අවට සවිකර ඇති සීසීටීවී කැමරාවල දර්ශන උපයෝගි කරගෙන ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් අත්අංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිවයින කළ විමසීමක දී රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා කියා සිටියේ තම පුත්‍රයාගේ නම කියමින් මෙම මැර පිරිස නිවසට ප්‍රහාර එල්ල කර ඇති බවයි.

රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේ අරගලය පැවැති දිනවල ද තම නිවාස, දේපළ ගිනි තබා විනාශ කළ බවත්, තවමත් තම නිවාසවලට ප්‍රහාර එල්ල වීම නතර වී නැති බවත්ය.

සපුගස්කන්ද පොලිසිය විමර්ශන පවත්වන අතර සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
නෝමන් පළිහවඩන සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment