රෝගයකට බෙහෙත් වර්ග 5 කට වඩා ගන්නේ බලාගෙනයි

258

විශේෂඥ වෛද්‍ය බරණ මිල්ලවිතාන

රෝගාබාධ සඳහා බෙහෙත් වර්ග පහකට වඩා ගන්නා වැඩිහිටියන්ට වෙනත් ආබාධ හටගැනීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බරණ මිල්ලවිතාන මහතා පවසයි. මේ හේතුවෙන් වැඩිහිටි අයකුට බෙහෙත් වර්ග පහකට වඩා රෝගාබාධයක් වෙනුවෙන් ලබා දෙන්නේ නම් ප්‍රවේසම් විය යුතු බව ද ඔහු කීවේය.

වැඩිහිටියන්ට කායික ආබාධවලට අමතරව විශාදය (ඩිප්‍රෙෂන්), ඩිමෙන්ෂියාව වැනි මානසික ආබාධ හටගැනීමේ වැඩි අවදානමක් තිබීම නිසා ඒ කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු විය යුතු බව ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය මිල්ලවිතාන මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ශිරෝමි මාදුවගේ මහත්මිය සඳහන් කළේ ලෝකයේ වේගයෙන් වැඩිහිටි බවට පත් වන ජනගහනයක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව සිටින අතර වැඩිහිටි ජනගහනය හරිහැටි හඳුනා ගතහොත් එය සම්පතක් බවයි. මෙරට වැඩිම වැඩිහිටියන් පිරිසක් සිටිනුයේ බස්නාහිර පළාතේ බවත් ග්‍රාමීය ප්‍රදේශවල සිටින වැඩිහිටියන්ගේ සංඛ්‍යාවද වැඩි වෙමින් පවතින බවත් ඇය සඳහන් කළාය.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment