ලංසු එනකම් වියදම් කපයි

386

නඩත්තුවට මහා භාණ්ඩාගාරයෙන් මුදල්

ශ්‍රී ලංකන් විකිණීම තවත් දින 45ක් පස්සට ඇමැති නිමල් කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමට අදාළ ලංසු කැඳවීම තව දින 45කට කල් දැමීමට රජය තීරණය කළ බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

එසේම ගුවන් සමාගම සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 510ක පමණ ණය මුදල ද මහා භාණ්ඩාගාරය යටතට පවරා ගැනීමට ද තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (04 දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ බවද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05දා) සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණීමට අදාළව ලංසු තැබීම පවරා ඇත්තේ ලෝක බැංකුව මගින් නම් කරන ලද ISB නමැති සමාගමටයි. ගුවන් සමාගම සතුව දැනට පවතින රුපියල් බිලියන 1.2ක පමණ ණය මුදල සමග එය මිලදී ගැනීමට කිසිදු ගුවන් සමාගමක් මේ මොහොතේදී ඉදිරිපත් නොවනු ඇතැයි ISB සමාගම දැනුම් දුන්නා. ඒ අනුව මාර්තු 05 වැනිදා පස්වරු 3.00ට අවසන්වීමට තිබූ ලංසු කැඳවීම තව දින 45කින් දීර්ඝ කිරීමට පියවර ගත්තා.

මෙම තීරණයත් සමග අලුතින් ලංසු තැබීමට කැමති ගුවන් සමාගම්වලට අවස්ථාවක් උදාවෙනවා. එසේම දැනට ලංසු ඉදිරිපත් කර ඇති ගුවන් සමාගම්වලට නව යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසෙනවා. මහා භාණ්ඩාගාරය යටතට පවරාගනු ලබන ගුවන් සමාගම සතු ණය ප්‍රමාණය පියවාගනු ලබන්නේ ශ්‍රී ලංකන් මිලදී ගනු ලබන ගුවන් සමාගම ඉදිරිපත් කරන ලංසු මුදලිනි.

ශ්‍රී ලංකන් සමාගමේ කාර්යක්‍ෂමතාව වැඩිකර ගැනීම සඳහා ඉදිරි මාස 06ක කාලයක් සඳහා ඩොලර් මිලියන 60ත් 70ත් අතර මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරය මගින් ලබාදෙනවා. ඒ අනුව දැනට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමේ සේවාවක් පවත්වාගෙන යෑමට ගුවන් සමාගම කටයුතු කළ යුතුයි.

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියලු කාර්යමණ්ඩලය කාර්යක්‍ෂමව කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

ගුවන් සමාගමේ වියහියදම් පාලනය සහ එහි ක්‍රියාකලාපය අධීක්‍ෂණය සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරනවා. ඔහු විසින් සති දෙකකට වරක් ගුවන් සමාගමේ කටයුතු පරීක්‍ෂා කළ යුතුයි. මෙම කාලය තුළ සේවක වැටුප් වැඩි කිරීම හෝ දීමනා වැඩි කිරීමට කටයුතු කරන්න බැහැ. අනවශ්‍ය විදෙස් ගමන් සහ අනවශ්‍ය වියදම් කළ නොහැකියි.

මෙම මාස 06ක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිසි ප්‍රගතියක් සිදුනොවන බවට හෙළි වුවහොත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වෙනස්කම් සිදුකිරීමට වුව කටයුතු කරනවා.

හයදහසක් පමණ වන ගුවන් සමාගමේ සේවකයන්ගේ සුරක්‍ෂිතතාවය ආරක්‍ෂා වන පරිදි කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

ගුවන් සමාගමට අයත් දැනට පියාසර කිරීමට නොහැකි ගුවන් යානා තුන ද අලුත්වැඩියා කර අප්‍රේල් මාසය වනවිට ගුවන් ගමන් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට පවතින ගුවන් ගමන් ප්‍රමාදය විසඳාගත හැකියි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment