විදුලි බිල අඩුවීම එදා මා කළ සටනේ ප්‍රතිඵලයක් – මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක

103

ලැබූ ලාභයේ වාසියත් ජනතාවට ලබාදිය යුතුයි

විදුලි බිල සියයට 21.9 කින් අඩුකර විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලැබී ඇත්තේ තමා තනතුරේ සිටියදී කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය.

2022 දී තමා ඉදිරිපත් කළ විදුලි බිල අඩු කිරීමේ යෝජනා ඇතුළත් සංශෝධනයේ ප්‍රතිඵල මත තම පදවියද එදා පාර්ලිමේන්තු මැදිහත්වීමෙන් අහිමි වුවත් අද ජනතාවට ලැබුණු සහනය සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවද ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.

විදුලි බිල අඩුකර ලබාදුන් සහනය එදා වේල සරිකර ගන්නා ජනතාවට මෙන්ම පන්සල්, පල්ලි ඇතුළු පූජනීය ස්ථානයන්ට සහ සංචාරක ක්‍ෂේත්‍රයට ද යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ගිය වසරේ ලංකා විදුලිබල මණ්ඩලය ලබා ඇති රුපියල් බිලියන 95ක පමණ ලාභයේ වාසිය ද ඉදිරියේදී මහජනතාව වෙත ලබාගැනීම සඳහා මැදිහත්ව කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

විදුලි බිල අඩු කිරීම රජය හෝ දේශපාලන අධිකාරියෙන් ලබා නොදුන් බවත් ඒ වෙනුවෙන් සිවිල් සංවිධාන, මහජනතාව සහ මාධ්‍ය ද කැපවීමෙන් සටන් කළ බවද කියා සිටි ඒ මහතා මෙය රජය ජනතාවට දුන් ගුණ්ඩුවක් විය හැකි බවද කීවේය.

එසේම ඉන්ධන මිල ද ලෝක වෙළෙඳපොළේ පවතින ප්‍රවණතාවයට අනුව ගණනය කර තව රුපියල් 150කින් පමණ අඩු කිරීමේ හැකියාව පවතින බවත්, ඇමැතිවරයා බොරු ට්විටර් පණිවිඩ නිකුත් කරන බවටත් හෙතෙම මාධ්‍ය හමුවේ චෝදනා කළේය.

මේ මාසයේ සහ ලබන මාසයේ වර්ෂාව අඩුවීම හේතුකොට ගෙන ජලය කළමනාකරණය නිසි ලෙස නොකෙරුවහොත් යළි විදුලි බිල වැඩි කිරීමට මණ්ඩලය පෙළඹිය හැකි බවද කියා සිටි ඒ මහතා විදුලිබල මණ්ඩලයට ලැබෙන මුදල් කළමනාකරණයට අවශ්‍ය දක්‍ෂ නිලධාරීන් එහි නැතැයි ද කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරි සංශෝධනයේදී විදුලි බිල තවත් අඩුවිය යුතු බවත්, එය ලබාගැනීම සඳහාත් සියලුදෙනා එක්ව පෙර කළ සටන සහ බලපෑම් දියත් කළ යුතුව ඇතැයි ද මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment