ලෝක කාන්තා දින පණිවුඩ

46

ශ්‍රී ලාකේය කාන්තාව මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ලෝක කාන්තා දින පණිවුඩ

කාන්තාවගේ අභිමානය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවත් ඒ අනුව කාන්තාවන්ට වෙනස් කොට සැලකීම වළක්වාලීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රථම වතාවට හඳුන්වා දීම රජය ගත් සුවිශේෂී පියවරක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදට (08දා) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සුබපැතුම් පණිවුඩය මෙසේය.

සාම්ප්‍රදායික භූමිකා අභිබවා දැනුමෙන්, හැකියාවන්ගෙන් සහ වෘත්තීයභාවයෙන් සන්නද්ධව ශ්‍රී ලාකේය කාන්තාව අද මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සිටියි.

එවන් පසුබිමක පවුල තුළ මෙන්ම සමාජය තුළ ද විවිධ භූමිකාවන් හිස දරා ගනිමින් කටයුතු කරන කාන්තාව රටට අභිමානයකි.

තිරසර සංවර්ධනයක් කරා යන ගමනේදී කාන්තාවගේ භූමිකාව තවදුරටත් ඔප් නැංවීමට රජය මේ වන විට පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින අතර සේම කාන්තා දිනය එක් දිනකට පමණක් සීමා නොකර, නව නීති රීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් කාන්තාවගේ අභිමානය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති අතර කාන්තාවන්ට වෙනස් කොට සැලකීම වළක්වාලීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රථම වතාවට හඳුන්වා දීම එහි සුවිශේෂී පියවරකි.

එමෙන්ම ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීමට කටයුතු කර තිබෙන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී. තවද, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම මේ වන විට සකස් කර අවසන්ව ඇති අතර කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය. එසේම දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ ද රජය සිදු කරමින් සිටියි.

අනාගත පරපුර වෙනුවෙන් වඩාත් සුරක්ෂිත සහ සමෘද්ධිමත් රටක් ගොඩනඟා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමස්ත කාන්තා පරපුරේ සහාය අපේක්ෂා කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මගේ උණුසුම් සුබපැතුම් එක් කරමි.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමස්ත සමාජයේම වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

ලෝක කාන්තා දින පණිවුඩ

සමාජයේත්, පවුලේත් උන්නතිය වෙනුවෙන් සිය දිවි දෙවැනි කොට කටයුතු කරන කාන්තාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමස්ත සමාජයේම වගකීමක් යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ කාන්තා දින සැමරුම් පණිවුඩයේ සඳහන් කර ඇත.

එහි මෙසේද සඳහන් කර ඇත.

සමස්ත ජනගහනයෙන් සියයට පනස් දෙකක ප්‍රතිශතයක් වූ කාන්තාව, රටේ සංවර්ධනයෙහිලා විශාල කැපවීමකින් කටයුතු කරයි. දියණියක්, බිරිඳක්, මවක්, මිත්තණියක් මෙන්ම පුරවැසියෙක්, සමාජ සේවිකාවක් ලෙස සිය භූමිකාව නිරූපණය කරන ඇය පාසලේදීත්, නිවසේදීත්, රැකියා ස්ථානයේදීත්, මහමඟදීත් මුහුණ දෙන ගැටලු සම්බන්ධව මෙවැනි අවස්ථාවකදී අප වඩවඩාත් අවධානය යොමු කළ යුතුයි. සමාජයේත්, පවුලේත් උන්නතිය වෙනුවෙන් සිය දිවි දෙවැනි කොට කටයුතු කරන ඇගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමස්ත සමාජයේම වගකීමකි.

රටේ සංවර්ධනයට සුවිශේෂි දායකත්වය දැක්වුවද, තවමත් මෙරට කාන්තාවන්ගෙන් බහුතරයක් බැංකු ක්‍රමය සමග එක් නොවීම කණගාටුදායක තත්ත්වයකි. මේ නිසා රාජ්‍ය හා වාණිජ බැංකු නිර්මාණශීලී වෙමින්, කාන්තාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බැංකු ක්‍රමය හා එක්වීමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ.

වත්මන් සමාජ අසීරුතාවයන් යටතේ වුවද කාන්තාවන්ගේ පෝෂණය සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් හා ඔවුන්ට නව රැකියා අවස්ථා උදාකර දීම සඳහා වූ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. ඇය සතු දැනුම හා කුසලතාවයන් මෙන්ම ඇගේ අවශ්‍යතාවයන් මනාව වටහා ගනිමින් නව ලෝකයට ගැලපෙන ශක්තිමත් හා ඵලදායි කාන්තා පරපුරක් බිහි කිරීම අපේ ඒකායන අරමුණයි.

advertistmentadvertistment
advertistmentadvertistment