වර්ජන මැද රෝගී සත්කාරයට හමුදාව බසී

188

සෞඛ්‍ය වෘත්තීය සමිති දහයක් එක්ව ආරම්භ කර තිබෙන දෙදින වැඩ වර්ජනයෙන් අඩපණව තිබෙන රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා ඊයේ (11 වැනිදා) පෙරවරුවේ හමුදා නිලධාරීන් 634ක් යෙදවූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර ‘දිවයින’ට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්‍ෂක ආඥාපතිවරුන්ට දැනුම්දී ඇත්තේ රටපුරා පිහිටි රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා හමුදා නිලධාරීන් යොදවන ලෙසය.

ඒ අනුව ඊයේ (11 වැනිදා) කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය හා කුරුණෑගල ශික්‍ෂණ රෝහල්, මාතර, බළංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම යන රෝහල්වලට යුද හමුදා සෙබළුන් යොමු කළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

වර්ජන මැද රෝගී සත්කාරයට හමුදාව බසී

රජයේ රෝහල්වල වෘත්තීය සමිති දහයක් එක්ව පෙරේදා (10 වැනිදා) පෙරවරු අටේ සිට අද (12 වැනිදා) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය නිසා රජයේ රෝහල්වල කටයුතු අඩපණව තිබිණි. වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය ගත් තීරණයෙන් පසු සෞඛ්‍ය වෘත්තීය සමිති දහයක් ඔවුනට ද රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන්නැයි ඉල්ලමින් සහ ඉල්ලීම් කිහිපයක් යොමු කරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබිණි. වර්ජනය නිසා ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට පැමිණි රෝගීහු දැඩි අසරණතාවට පත්ව සිටියහ.

මෙම වැඩ වර්ජනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, පවුල් සෞඛ්‍ය සේවක සංගමය, ඖෂධ සංයෝජකයන්, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් ඇතුළු සුළු සේවක වෘත්තීය සමිති සාමාජිකයෝ එක්ව සිටියහ.

ළමා රෝහල, පිළිකා, මාතෘ, වකුගඩු, මධ්‍යම ලේ බැංකුව, මානසික සෞඛ්‍ය විද්‍යායතනය ආදී ආයතනවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබිණි.

මේ අතර කොළඹ ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉවත් කරන ලෙස හා රෝහල් සේවකයන්ට තිස්පන්දහසක දීමනාවක් ඉල්ලා එම රෝහල් සුලුසේවක වෘත්තීය සමිති මෙම වර්ජනයට එක්ව සිටිති.

ශිරාන් රණසිංහ, පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment