වරාය වෘත්තීය සමිති අකුරට වැඩ අත්හිටුවන වාරණය දික් කරයි

61

සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 12ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය.

අධිකරණය විසින් මින් පෙර නිකුත් කර ඇති එම වාරණ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා බව පෙන්වා දෙමින් විත්තිකාර වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය.

2024.01.01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එකඟවිය යුතුව තිබූ වැටුප් වැඩිකිරීමට අදාළ සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා සහ ඊට ඇතුළත් වීමට අදාළ ක්‍රියාවලිය අත්හිටුවීමට තීරණය කොට වරාය වෘත්තීය සමිති එකමුතුව 2023.12.28 වැනිදා දිනකට පැය 12ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව තිබියදී බලධාරීන් වෘත්තීය සමිති 37කට එරෙහිව එම වාරණ නියෝගය ලබාගෙන තිබිණි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයෝ ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment