වාහන 33 කින් කෝටි 56 ක බදු පිල්ලි ගිහින්: විගණනයෙන් හෙළිවෙයි

240

රේගු බදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරනු ලැබූ හෝ මෙරටදී නීති විරෝධී ලෙස එක්ලස් කරන ලැබූ වාහන 33ක දත්ත මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කරමින් එම වාහන නීත්‍යනුකූල වාහන ලෙස මෙරට භාවිතයට මුදා හැරීම නිසා රජයට බදු මුදල් වශයෙන් රුපියල් පනස්පන්කෝටි අසූහය ලක්‍ෂ හතළිස්දහස් හයසිය විසිහතක මුදලක් අහිමි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙය මූල්‍ය අක්‍රමිකතා ස්වරූපයේ ගනුදෙනුවක් බව ජාතික විගණන කාර්යාලය මගින් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධව 2020 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාවේ දැක්වෙයි.

මෙසේ නීත්‍යනුකූල නොවන අයුරින් මුදාහැර තිබූ වාහන 21ක් සඳහා දළ වශයෙන් නිෂ්පාදන බදු සුඛෝපභෝගී බදු සහ අනිකුත් රජයේ අයකිරීම් ලෙස රජයට ලැබිය යුතු රුපියල් පනස්පන්කෝටි අසූහය ලක්‍ෂ හතළිස් දහස් හයසිය විසිහතක මුදලක් අහිමි වී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම මෙම වාහන සම්බන්ධයෙන් මුල් ලිපිගොනු නඩත්තු කිරීමටද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පියවරගෙන නොතිබුණි. මෙසේ අවිදිමත් ලෙස ලියාපදිංචි වාහන 17කින් වාහන 09ක් සඳහා පමණක් දළ වශයෙන් නිෂ්පාදන බදු සුඛෝපභෝගී බදු හා අනිකුත් රජයේ ගාස්තු හා ආදායම් ලෙස රුපියල් විසිනවකෝටි හැත්තෑලක්‍ෂ පනස්හත්දහස් හත්සිය අසූඅටක මුදලක් (297,057,788) රජයට අහිමිවී තිබිණි. එමෙන්ම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් අනුපිළිවෙළින් ලියාපදිංචි අංක නිකුත් නොකර යම් අංක ප්‍රමාණයක් හිස්ව තබා පසුව එම හිස් අංක යොදා ගනිමින් වාහන ලියාපදිංචිකොට ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. ඇතැම් වාහන සඳහා වසර 27, 23 හා 18 ආදී අතීත වර්ෂයන් සඳහා එකවර ආදායම් බලපත්‍ර ලබාගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙකී මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකොට නීතිමය පියවර ගැනීම මෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතා නොවන පරිදි කටයුතු කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස විගණනය මගින් නිර්දේශ කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment