වැරදි කරන රියැදුරන් කොටු කරන කොළඹ සීසීටීවී හෙට සිට රෙඩී

46

කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝනය කරනු ලබන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිසිය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව සී.සී.ටී.වී. නිරීක්‍ෂණ ක්‍රමවේදය ඊයේ (22 දා) සිට සක්‍රීය කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ නගරයට ඇතුළුවන රථවාහන සී.සී.ටී.වී. කැමරා 108 ක් මගින් නිරීක්‍ෂණයන්ට ලක් කෙරනු ඇත.

එහිදී මාර්ග නීති උල්ලංඝනය කර ඇති බවට තහවුරු වන රියැදුරන් හට ඊට අදාළ දඩ පත්‍රිකාව අදාළ පුද්ගලයා පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා නිකුත් කිරීමත් මෙම නව ක්‍රමවේදය යටතේ සිදුවනු අත.

මෙම නව සී.සී.ටී.වී. ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවට රියැදුරන්ට කල්තියා දැනුම්වත්වීම සඳහා කොළඹට ඇතුළුවන ස්ථාන 09 ක දැනුම්වත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි. අදාළ නව සී.සී.ටී.වී. ක්‍රමවේදයට අනුව දිනකට මාර්ග නීති උල්ලංඝනය කරනු ලබන රියැදුරන් 100 කට අධික සංඛ්‍යාවක් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ හැකියාව පවතින බව ද රථවාහන පොලිසිය සඳහන් කරයි. මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22 දා) මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment