විදුලි සේවක දඩයමට එරෙහිව 5දා දැවැන්ත විරෝධතාවක්

88

විදුලිබල මණ්ඩලයේ සේවකයන් හැත්තෑහය දෙනකුගේ සේවය අත්හිටුවා වෘත්තීය සමිති මර්දනය කිරීමට රජය ගෙනයන දඩයම වහා නතර කරන ලෙසට බලකරමින් ලබන 05 වැනිදා, කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට අදාළව ගෙන එන “විදුලි පනත” හකුළා ගන්නා ලෙස ඉල්ලමින් ඉකුත් 3, 4 සහ 5 වැනිදා යන තෙදින ලංවිම වෘත්තීය සමිති විසින් සංවිධානය කළ උද්ඝෝෂණයට එක්වූ පිරිස ලෙඩ නිවාඩු දමා ඊට සහභාගි වී ඇතැයි ද සමරසිංහ මහතා කීය. එම නිවාඩුවලට නිසි අනුමැතිය පවා ලබා තිබියදී රනිල්, රාජපක්‍ෂ හා කංචන එක්ව වෘත්තීය සමිති ව්‍යාපාර හා වෘත්තීය අයිතිවාසිකම් මර්දනය කරමින් සේවක දඩයමක් අරඹා ඇතැයි ද ඒ මහතා කීය. මෙම මර්දනයට එරෙහිව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී ඇතැයි ද ඒ මහතා කීය.

විදුලිබල මණ්ඩලය පමණක් නොව රාජ්‍ය ආයතන ගණනාවක්ම විකුණා දැමීමට ගෙනයන වැඩපිළිවෙළ නතර කිරීම සඳහා 29 වැනිදා පෙත්සමක් අත්සන් කර, රාජ්‍ය හා පුද්ගලික ආයතනවල වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධ කර, 05 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට විරෝධතාව ආරම්භ කර, ජනතා වරමක් නොමැති පාලනය අවසන් කිරීමේ සටන අරඹන බවද සමරසිංහ මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment