විධායකය සහ කැබිනට් මණ්ඩලය එකතු වී ඡන්ද අයිතිය අවහිර කිරීම ජනතාවගේ මූලික අයිතිය පාගාදැමීමක්

79

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතියක් වන ඡන්ද අයිතිය ආණ්ඩුව, විධායකය සහ කැබිනට් මණ්ඩලය එකට එකතු වී අවහිර කිරීමට ගනු ලැබූ උත්සාහය ජනතාවගේ මූලික අයිතිය පාගා දැමීමක් බව විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා සමාජයේ ඇති වූ ආන්දෝලනය තුළ එම තීන්දුව ආපසු හරවා ගැනීමට සිදු වුවත් මේ වරද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ජාතියෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි. රටක් ලෙස මෙවැනි විකෘති වැඩ සිදු නොකර නව තාක්ෂණයෙන් යුතු ගමනක් යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11 දා) කතරගම දී පැවසීය.

කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ පනහක් වටිනා බස් රථයක් ‘සක්වල 68 වන අදියර’ හරහා පරිත්‍යාග කරමින් විපක්ෂ නායකවරයා එසේ කීය.

එමෙන්ම බංකොලොත් වූ රටක ප්‍රතිපාදන නොමැති කතා, පස්සේ බලන කතා නොමැතිව අපේ හැකියාව සහ උත්සාහය මත මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල අගයක් එකතු කිරීමට හැකි වූ බවත් ඔහු පැවසීය. විපක්ෂයේ සිට වුව බලයක් නොමැතිව වුව ඇමතිකම්, ජනාධිපතිකම්, අගමැතිකම් නොමැතිව ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බවත් කීය. විපක්ෂයේ සිට විවිධ නාළිකාවලට සම්මුඛ සාකච්ඡා පමණක් ලබා නොදී සාම්ප්‍රදායික රාමුව අතික්‍රමණය කරමින් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ බව හෙතෙම කීය.

තවද ජනතාව වැඩ කළ හැකි පිරිසක් ඉල්ලා සිටියත් මේ රජයේ සිටින්නේ කයිවාරුකාරයෝ බවත් විපක්ෂයේ සිටින ඇතැම් පක්ෂවලද දක්නට ලැබෙන්නේ කයිවාරු කාරයෝ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පාලකයන්ට මෙතෙක් කාලයක් අවශ්‍ය වී තිබුණේ පාලකයන්ට වන්දනාමාන කරන වන්දිභට්ටයන් පිරිසක් බවය. සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් වත්මන් විපක්ෂයේ අරමුණ වූයේ උගත් පරපුරක්, සුහුරු තාරුණ්‍යයක් සහ විශාල පෞරුෂයක් ඇති පුරවැසි පරපුරක් නිර්මාණය කිරීම බවද කීය.

කැට හොල්ලන, රට ගිනි තියන පරපුරක් නිර්මාණය කිරීම අවශ්‍ය නොවන බවත් මේ වන විට පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ඩොලර් අවශ්‍ය බවත් එම මුදල් ගෙන ආ හැකි පුද්ගලයාට බලය ලබාදීම ජනතාවගේ වගකීම බවත් පැවසීය. විපක්ෂ නායකවරයා කියා සිටියේ නෑ, බෑ කියන සංකල්පය මත කිසිදු අවස්ථාවක රටක ප්‍රශ්න විසදෙන්නේ නොමැති බවයි. ජනතාව ඉල්ලා සිටින එම විසඳුම ලබාදීමේ දක්ෂතාව තමන් ඇතුළු සමගි ජන බලවේගය සතුව පවතින බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස්රථ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන විට සමහර පක්ෂ එය දරුණු ලෙස විවේචනය කරන බවත් නමුත් ඔවුන්ගෙන් ද සිදුවිය යුත්තේ මෙවැනි වැඩසටහන් සඳහා උපකාර ලබාදීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එසේ නිර්දය ලෙස විවේචනය කරන පිරිස් කිසිදු අවස්ථාවක ජනතාව වෙනුවෙන් වැඩක් නොකළ බවයි.

එබැවින් කවුරු විවේචනය කළත් කවුරු මඩ ගැහුවත් මේ සක්වල වැඩසටහන නැවැත්විය නොහැකි බවත් තවත් පාසල් 250කට වැඩි ප්‍රමාණයක් බස් රථ ඉල්ලා ඇති බවත් එම ඉලක්කය අසීරු වුවත් කෙසේ හෝ එය සපුරා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment