විවාහක පුද්ගලයෙක් මරා අතපය ගැටගසා රත්ගම කලපුවට දාලා

121

රත්ගම ආදාහනාගාරය පිටුපස කලපුවේ අතපය ගැටගසා පාවෙමින් තිබූ විවාහක පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.

මොහු රත්ගම ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගොණපිනුවලගේ ෂෙහාන් නිලංග නමැති අයෙකි. මොහු ඝාතනයට ලක්ව ඇති බවට සැකකරන අතර ඊට පෙර දින මොහු මිතුරන් 10 දෙනෙකු සමග එකට මත්පැන් පානය කොට ඇති බවද පොලිසිය පවසයි. මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදී මොහුට දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඔහු ඉන් පැයකට පමණ පසු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. මිතුරන්ද මොහු ගැන සොයා නැති අතර ඊට පසුදින පස්වරුවේ මෙම පුද්ගලයාගේ මළ සිරුර රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඥාතීන් විසින් මියගිය පුද්ගලයාගේ මළ සිරුර හඳුනාගෙන ඇත. ඔහු විදේශගතව සිට මෙරටට පැමිණි අයෙකි. මොහු දෙවැනි වරට විවාහ වී ඇති අතර බිරිඳ ගැබිනියක් බවද පොලිසිය පවසයි. මොහු ඝාතනය වීමට පෙර මත්පැන් පානය කරමින් සිටි මිතුරන්ගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කරගෙන යන අතර මියගිය පුද්ගලයාගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි. මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි. රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment