වෙරළ වොලිබෝල් ශූරතාවය ගුවනට යයි

134

ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමත් වූයේය.

විවෘත පිරිමි අවසාන මහා තරඟයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව වට 2-0ක් (21-19 සහ 21-17) ලෙස ජයග්‍රහණය කරමින් ගුවන් හමුදා ක්‍රීඩකයෝ එම ශූරතාවයට හිමිකම් කීහ.

විවෘත කාන්තා තරගයේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව 21-06ක් සහ 21-11ක් ලෙස වට 2-0 ක පහසු ජයග්‍රහණයක් ලබමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ද ශූරතාවය දිනා ගත්හ.

මීගමුව වෙරළ ක්‍රීඩාංගණයේ දින තුනක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 217ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ.

මෙවර තරගාවලිය සඳහා පළමු වරට වයස අවුරුදු 16න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩද එක් කර තිබුණි.

වයස අවුරුදු 22 න් පහළ පිරිමි ශූරතාවය හුංගම විජයබා ක්‍රීඩකයෝ දිනා ගත්හ. ඔවුන් හමුවේ වට 2-1 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලක් ක්‍රීඩකයන්ට අනුශූරතාව හිමිවිය.

එම වයස් කාණ්ඩයේ කාන්තා ශූරතාවය මහමෙරුව කණ්ඩායමට හිමි වූ අතර බිටුලින්ක් “බී” ක්‍රීඩිකාවෝ අනුශූරතාවය දිනා ගත්හ.

වයස 19න් පහළ බාලක ශූරතාවය දවිසමර ජාතික පාසලට හිමි වූ අතර හලාවත ශාන්ත මේරි කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්තේය. එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාවය බිටුලින්ක් “බී” කණ්ඩායමට හිමි වූ අතර සංඝමිත්තා බාලිකා ක්‍රීඩිකාවෝ අනුශූරතාවය දිනා ගත්හ.

නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාල “බී” කණ්ඩායම පරාජය කරමින් නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාල “ඒ” ක්‍රීඩකයෝ 16න් පහළ බාලක ශූරතාව දිනා ගත්හ.

බාලිකා අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය කිරීමට බිටුලින්ක් “සී” ක්‍රීඩිකාවන් සමත් වූ අතර කඳන්ගමුව බාලිකාවන් එහිදී පරාජයට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment