වෛද්‍ය වෘත්තියේ පන්දහසක් පමණ ඉදිරියේදී රට හැර යනවා – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

107

වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තීයවේදීන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ඉදිරියේදී රට හැර යෑමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළේය.

මේ වනවිට වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය වෘත්තීයවේදීන් දෙදහස ඉක්මවා රට හැර ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ද පෙන්වා දුන් එම සංගමය මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජය ක්‍ෂණික මැදිහත්වීම් සිදුකර වෛද්‍ය වෘත්තිකයන්ගේ ඉල්ලීම් ලබාදීමට ක්‍රියා නොකරන්නේ නම් ඉදිරියේදී සියලු වෛද්‍ය වෘත්තිකයන් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියමාර්ගයනට එළැඹෙන බව ද මාධ්‍ය හමුවේදී රජයට අනතුරු ඇඟවීය.

රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා රටේ ඉදිරි දිශානතිය පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය, වෘත්තීය තෘප්තිය නොමැතිවීම, පරිපූර්ණ ප්‍රතිකාර ලබාදීම සඳහා ඖෂධ, උපකරණ, සේවක හිඟය පියවීමට කටයුතු නොකිරීම, වැටුප් දීමනා ඉතා අවම මට්ටමක පැවතීම, අධික බදු බර ජනතාව සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර ගැටුම් නිර්මාණය වන පරිසරයක් පැවතීම නිසා වෘත්තීය අනාරක්‍ෂිතභාවයක් මතුව තිබීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීම, වැඩ අධිකවීම ඇතුළු තවත් හේතු ගණනාවක් නිසා මෙලෙස වෛද්‍ය වෘත්තිකයන් රට හැර යෑමට පෙලඹී සිටින බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කළේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තවදුරටත් ආරම්භ කිරීමේ රජයේ වැඩපිළිවෙළට නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තමන් විරෝධය පළකරන අතර, ‘සයිටම්’ වැනි වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් පැවැති රජයන්ට සිදුවූ බලපෑම් තේරුම් නොගෙන ඒ සම්බන්ධව අත්දැකීම් ඇති වත්මන් ජනපතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත නොකරන බව ද කියා සිටි වෛද්‍යවරයා මුදල් ඇති 5% ක පමණ සුළුතරයක් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වෙත පිවිසුනත් 65% ත් 70% අතර පිරිසකට උසස් අධ්‍යාපනය අහිමිවීම වැළැක්විය නොහැක්කක් වන බැවින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment