ශාෆ්ටර්ගේ රියෙන් හමුවූ රුධිරය හඳුනා ගන්න -බ්‍රයන් තෝමස්ගෙන් රුධිර සාම්පලයක් උසාවියෙන් අවසර

115

අභිරහස් ලෙස මරණයට පත්වූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ රථයේ තිබී හමුවූ ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි තහවුරු කර ගැනීමට සිදුකරන ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සඳහා ප්‍රකට ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (24 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා බොරැල්ල පොදු සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථයක් තුළ මරණාසන්නව සිටි දිනේෂ් ශාෆ්ටර් මහතා සොයාගෙන තිබිණි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබූ අතර එකී මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ශාෆ්ටර් මහතාට අයත් රථයේ තිබී ආගන්තුක රුධිර සාම්පලයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වී තිබිණි.

එකී ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි අනාවරණය කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු කිහිප දෙනකුගෙන් රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ. පරීක්‍ෂණ සිදුකළත් ඒවා එම රුධිර සාම්පල සමග නොගැළපෙන බවට වාර්තා වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අතිරේක මහෙස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේය.

ඒ අනුව බ්‍රයන් තෝමස් මහතාගේ රුධිර සාම්පල ලබා ගැනීමට සහ ඒවා ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සඳහා යොමුකර වාර්තා කැඳවීමට අවශ්‍ය නියෝග අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment