සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්න සහ හෙට

640

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2000 දෙසැම්බර් 4 වන දින නිවේදනය කර සිටියේ ලෝකයේ විශාල සහ වැඩිවන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත්කරන බවයි. එම දිනය අදට යෙදී ඇත. ලොවම ආර්ථික අර්බුදයකට ලක්ව සිටින නිසා සංක්‍රමණික ප්‍රශ්න ද වැඩිව තිබේ. ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් මේ තත්ත්වය වඩා හොඳින් දැක ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ශ්‍රමිකයන් ආර්ථිකයේ ඉතා වැදගත් හා වටිනා අංශයක් වන අතර වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් 200,000 කට වැඩි පිරිසක් රැකියා සඳහා සංක්‍රමණය වේ. මෙම සංක්‍රමණික සේවකයන් විසින් එවන විදේශ විනිමය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 කි. නමුත් පසුගිය වර්ෂයේදී සංක්‍රමණ වාර්තාගත ලෙස ඉහළගොස් තිබිණි. 2020 වසරේ ඇස්තමේන්තු අනුව සංක්‍රමණිකයන් මිලියන 1.5 ක් පමණ විදේශයන්හි සේවය කරන අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් මැද පෙරදිග කලාපයේ සේවය කරති. රැකියා, ඉගෙනීම සහ පදිංචිය සඳහා විදේශගතවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ගේ මුල් පෙළේ තෝරා ගැනීමක් වන්නේ ඔස්ටේ්‍රලියාව යි. විශේෂයෙන් ආර්ථික අර්බුදයෙන් පසුව නීත්‍යනුකූලව මෙන්ම නීති විරෝධී ලෙස ද ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. එහෙත් ඉදිරි වසර දෙක ඇතුළත ආගමනිකයන් සංඛ්‍යාව අඩකින් අඩු කරන බව ඔස්ට්‍රේලියානු රජය පවසයි. එය සිදුකරන්නේ එරට “කඩා වැටුණු” ආගමන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණිනි. 2023 ජූනි මාසය වන විට 510,000ක් වූ වාර්තාගත සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබේ. කෙසේ වෙතත්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් සඳුදා පැවසුවේ, ඇගේ රජය, යළිත් මෙම සංඛ්‍යා අඩුකර යම් පාලනයක් ඇති කරමින් වාර්ෂික සංක්‍රමණිකයන් සංඛ්‍යාව 50%කින් පමණ අඩු කිරීමට පියවර ගන්නා බවය. මෙය කෙළින්ම මෙරට පුරවැසියන්ට අවාසිදායක ලෙස බලපායි. අපේ තරුණ තරුණියන්ගේ ඔසී සිහිනයට බරපතළ තර්ජනයකි. ඔස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන කාර්යාංශය නිකුත්කර ඇති නවතම දත්ත වාර්තා අනුව, පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ යෑමේ ප්‍රතිශතය වැඩි ම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ද වේ. සෙසු රටවල් නවය වන්නේ, ඉන්දියාව, චීනය, නේපාලය, පිලිපීනය, වියට්නාමය, පාකිස්තානය, ඉරාකය, තායිලන්තය සහ මැලේසියාව යි. ඇත්තෙන්ම දැන් බටහිර රටවලින් පවා ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පිරිස වැඩිව තිබේ. එයින් පෙනෙන්නේ ලංකාවේ අය එංගලන්තයට යද්දී එංගලන්තයේ අය ඔස්ට්‍රේලියාව බලා යන බවය. සංක්‍රමණ සිදුවන්නේ මීට දශකයකට පෙර දක්නට ලැබුණු ආකාරයට නම් නොවේ.

මීට මාස කිහිපයකට පෙර වාර්තා වී තිබුණේ 2012 වසරේ සිට 2022 වසර දක්වා දශකයක කාලය තුළ වාර්ෂිකව බි්‍රතාන්‍යයේ සේවයට එක්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සංඛ්‍යාව පසුගිය වසර දෙකක කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙය අර්බුදකාරී තත්ත්වයකි. එයින් සිදුවන්නේ මෙරට සෞඛ්‍ය සේවාව බිඳ වැටීමයි. මෙය සංක්‍රමණිකයන්ගේ දිනය සිහි කරන විට වැඩියෙන්ම අවධානයට ලක්කළ යුතු කාරණයකි. විදෙස් ප්‍රේෂණ ලැබීම වැඩි වුවත් බුද්ධි ගලනය වැඩි වුවහොත් සිදුවන්නේ බරපතළ අවාසියකි. “බුද්ධි ගලනය” නිසාවෙන් ඝානා රාජ්‍යයේ සෞඛ්‍ය සේවාව දුෂ්කරතාවට පත්ව ඇති අයුරු පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ එහි සැබෑ අනතුර පැහැදිලි කිරීම සඳහාය. 2022 වර්ෂයේ දී ඝානා ජාතික හෙදියන් 1200ක් එක්සත් රාජධානියේ හෙද සේවයට එක්විය. එයින් පසු ඝානාවට සිදුවන්නේ කුමක්ද? එක රැයින් හෙදියන් බිහිකළ හැකිද? මේවා අප්‍රිකාවට පමණක් නොව දකුණු ආසියාවටත් ප්‍රශ්නයකි. ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයන් 61 දෙනකු අතුරුදන් වීමේ පුවතක් ඊයේ අසන්නට ලැබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් සියලු දෙනා මියගොස් ඇති බවට සැක පළ කෙරෙන බවයි. අනතුර සිදුවන අවස්ථාවේ නයිජිරියාව, ගැම්බියාව ඇතුළු අප්‍රිකානු රටවලින් පැමිණි සංක්‍රමණිකයන් 86 දෙනකු යාත්‍රාවේ සිට ඇතැයි, සංක්‍රමණිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කර තිබිණි. අද ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය සැමරෙන විට මේ පුවත් අසන්නට ලැබීමත් කනගාටුදායකය.

advertistmentadvertistment
advertistmentadvertistment