සැපයුම අඩාල කර පොල් තෙල් මිල උස්සන තැතක්

198

දැනට වෙළෙඳපොළේ පවතින පොල් තෙල් සැපයුම අඩාල කර පොල්තෙල් හිඟයක් මවාපෑම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මෙම කූට ව්‍යාපාරිකයන්ගේ අරමුණ වන්නේ පොල්තෙල් මිල වැඩිකර ගැනීම බවත් පසුගිය වසරේද මේ ආකාරයටම මෙම පිරිස පොල්තෙල් මිල කෘතිවම වැඩි කරගත් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

මේ වන විට පොල් ගෙඩියක් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 120-130 ක් වැනි අධික මිලකටය. පොල් මිල ඉහළ ගියද වෙළෙඳපොළේ පොල්තෙල් අලෙවි වන්නේ සාධාරණ මිලකටය. එසේ වන්නේ පොල්තෙල් සැපයීමේ කාර්යක්ෂමතාවක් පවතින නිසාය. එහෙත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් පොල්තෙල් මිල ඉහළ දැමීම සඳහා පාර කපමින් සිටිති. පාරිභෝගිකයන්ට අධික මිලකට බිත්තර හා කුකුළු මස් මිලදී ගැනීමට සිදුව ඇත්තේද මෙවැනිම කූට ව්‍යාපාරිකයන් නිසා බවත් ඔහු කියයි.

නිසි අමුද්‍රව්‍යය නොයොදා, තත්ත්ව පාලනයකින් තොරව පොල් තෙල් නිෂ්පාදනය කරන මෙම පිරිස පාම් තෙල් මිලට වඩා පොල් තෙල් මිල කෘතිමව වැඩි කරගෙන ශරීරයට අහිතකර, මිලෙන් අඩු පාම් තෙල් පොල්තෙල් සඳහා කවලම් කර පාරිභෝගිකයනට අලෙවි කර අධික ලාභ ලබා ගැනීමේ කූට අරමුණ ඉටුකර ගැනීමට මාන බලමින් සිටිති. මොවුන්ගේ මෙම උත්සාහය සාර්ථක වුවහොත් මෙරට පාරිභෝගිකයාට අධික මිලකට පොල් තෙල් මිලදී ගැනීමට සිදුවනවා පමණක් නොව විෂ පාම් තෙල් කවලම් කරන ලද පොල් තෙල් මිලදී ගැනීමටද සිදුවනු ඇත. මෙවැනි කූට ව්‍යාපාරිකයන්ගෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා ආරක්ෂා කර දෙන ලෙස තමන් වගකිව යුතු ආයතන වලින් ඉල්ලා සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment