රෝහල්වලට ගෝස් ගේන්න වසරකට කෝටි 8 ක වියදමක්

122

පරීක්‍ෂණයක් ඉල්ලා ජනපතිට ලිපියක්

මෙරට රෝහල්වලට අවශ්‍ය ශල්‍ය ගෝස් විදෙස් සමාගමකින් මිලදී ගැනීම නිසා වසරකට රුපියල් කෝටි අටකට අධික මුදලක් නිකරුණේ වියදම් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී පෙරමුණ සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (12 දා) ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දුන්නේය.

ශ්‍රී ලංකාවේ ශල්‍ය ගෝස් නිෂ්පාදනය කරන්නන්ගේ සංගමයේ ඉල්ලීම නොසලකා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සැපයුම් ඒකකය, ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් අවභාවිත කරමින් රෝහල්වලට ශල්‍ය ගෝස් මීටර් මිලියන තුන (මීටර් ලක්‍ෂ 30)ක් බැගින් මිලදී ගැනීම හේතුවෙන් සාමාන්‍ය මිලදී ගැනීම්වලට වඩා කෝටි අටකට වැඩි මුදලක් වසරකට රජයට අහිමි වන බව එම සංගම් සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

මේ පිළිබඳව අවධානය යොමු කර නිසි පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ද ලිපි මගින් ඉල්ලා සිටි බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින’ ට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන ප්‍රශ්නකාරී ගනුදෙනු පිළිබඳව අප මීට පෙරත් රජයේ වගකිවයුතු අංශ දැනුවත් කළා. නමුත් සාධනීය පරීක්‍ෂණයන් සිදු වූයේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ ප්‍රශ්නසහගත ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරනවා වෙනුවට මෙම දූෂිත ගනුදෙනු රටට හෙළිකරන මා ඇතුළු වෘත්තීය සමිති නායකයන් දඩයම් කරනවා යැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment