සියලු‍දෙනාගේම පොදු යහපත උදෙසා රට යළි ගොඩනැඟීමට එක්වන්න

34

පක්ෂවල දේශපාලනික වෙනස්කම් තිබුණත්
රීඩ් මාවතේ සියවස් සැමරුමට එක් වෙමින් ජනපතිගෙන් සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනාවක්

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින් සියලු‍දෙනාගේම පොදු යහපත උදෙසා නව රටක් නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු‍ දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඉකුත් 27දා පෙරවරුවේ එම විද්‍යාලයේ පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවයට එක් වෙමිනි.

සියලු‍දෙනාගේම පොදු යහපත උදෙසා රට යළි ගොඩනැඟීමට එක්වන්න

මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ අතර කොළඹ රාජකීය විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවත් රාජකීයයන් සෑම විටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ බවත් කියා සිටියේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පාදනය කරන ලද කෘතියේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විදුහල්පති තිලක් වත්තුහේවා මහතා විසින් සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අපි කවදාවත් පැනලා ගියේ නැහැ.ඒනිසා තමයි අගමැතිතුමයි මමයි අද මේ කටයුතු කරගෙන යන්නේ. අපි දෙදෙනාම එකම පාසලේ. එකම පංතියේ. අපි දෙන්නටම ගෙයක් නැහැ. මට තිබෙන්නේ තාවකාලික නිවසක් පමණයි. අප අතීතය පිළිබඳ සිතමින් සිටිය යුතු නැහැ. අනාගතය ගැන සිතිය යුතුයි. අපි කොහොමද මේරටේ ආර්ථිකය ගොඩනඟන්නේ. ලෝකය වෙනස්වෙනවා. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා. මම අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අධ්‍යාපනය‍ රැඩිකල් ලෙස වෙනස් විය යුතු ආකාරය පිළිබඳ අපි සැලසුම් සකස් කරනවා.

අද කඳුකරයේ පාසලකට ගොස් බැලු‍වහොත් එම එක පාසලක සිටින්නේ සිසුන් 80ක් පමණයි. නමුත් ඔබේ පාසලේ සිසුන් 8000ක් සිටිනවා. සිසුන් 5000ට වඩා සිටින පාසල් කීයද තිබෙන්නේ. පාසල් 20-30ක් පමණයි. එසේනම් පාසල් කළමනාකරණයට අදාළ නව ක්‍රමයක් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. නව අධ්‍යාපන ක්‍රමයක් සහ නව පාසල් කළමනාකරණයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අලු‍ත් විශ්වවිද්‍යාල ඇති කර විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉහළ නැංවීමට අප අපේක්ෂා කරනවා.අප අනාගතය දෙස අවධානය යොමු කළ යුතුයි. නව තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක ක්‍රම සමඟ ඉදිරියට යා යුතුයි. ඒ වගේම අප නව ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යා යුතුයි. අපිට තවදුරටත් පැරණි ක්‍රමය අනුව ඉදිරියට යන්න බෑ. ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, දේශපාලනය වේවා මේ සියලු‍ ක්ෂේත්‍රවලට නව සැලසුම් අවශ්‍යයි.

එසේ නම් අලු‍ත් ආර්ථිකයක්, අලු‍ත් රටක් සහ අලු‍ත් දේශපාලන ක්‍රමයක් සමග අප ඉදිරියට යා යුතුයි. අපි සියලු‍දෙනා එකතුව ඒ අලු‍ත් රට හදමු. පාර්ලිමේන්තුවේ අප සියලු‍දෙනා එකට එකතුවෙලා මේ වෙනුවෙන් වැඩකරමු කියා මම සියලු‍දෙනාට ආරාධනා කරනවා. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලන වෙනස්කම් එලෙසම තබා ගනිමු. නමුත් අපි සියලු‍දෙනා එකතුවෙලා මේ රට ගොඩනඟමු.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, සී.වී. විග්නේෂ්වරන්, යදාමිණි ගුණවර්ධන, වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්වරුන්ද රාජකීය විද්‍යාලයේ විදුහල්පති, හිටපු විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment