ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

572

කාදිනල්තුමා මට විරුද්ධව ඡන්දය දෙන්න කිව්වේ හිතේ තිබුණු වේදනාවට

පාර්ලිමේන්තු තේරීම් සභාවක් දෙනවා අපටත් අවශ්‍ය ජාත්‍යන්තර පරීක්‍ෂණයක් – කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව මනූෂ කියයි

පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ හෙළිදරව්ව;

මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව කළ අලුත්ම හෙළිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටත් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩදීමටත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් එසේ පැවසූ මනූෂ නානායක්කාර ඇමැතිවරයා එය ක්‍රියාත්මක කිරීමට රජය කිසිදු අයුරකින් පසුබට නොවන බව ද කීවේය. එහිදී මතුවූ සංවාදය මෙසේය.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (සජබ) – අද පාන්දර චැනල් ෆෝ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉතාම බරපතළ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එසේ හෙළි කළ බරපතළ තොරතුරු ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතුයි. හේතුව එහිදී ජනතාවගේ රුධිරයෙන් පොළොව තෙත් වුණා.

ඇමැති මනූෂ නානායක්කාර මහතා– චැනල් ෆෝ නාළිකාවෙන් මතු කළ කාරණය සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වුණා. එහිදී තීරණය වූ පරිදි ඉදිරියේදී විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරෙයි. ඊට අමතරව ජාත්‍යන්තරව ද පරීක්ෂණ කරන්න අවශ්‍ය නම් ඒ සඳහාත් කටයුතු කෙරේවි. අපි ඒ ඉල්ලීම කැබිනට් මණ්ඩලයේදී ඊයේ කළා.

මේ එන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සලය රැස්වන කාලය. ඒ නිසා මේ වගේ ප්‍රශ්න එනවා. දැන් මේ ඇවිත් තිබෙන වීඩියෝ එක ගැන අපි කරුණු අධ්‍යනය කරන්න ඕනෑ. හැබැයි මේ කියන විදිහට සැලසුම තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීම සම්බන්ධයෙන් නම් හෝ සුරේෂ් සලේ කරන ප්‍රකාශය ගැන ඔය කියන පුද්ගලයාගේ ප්‍රකාශය මත කටයුතු කරනවා නම් ඔය සිද්ධියෙන් පසුව කාදිනල්තුමා උදේ පාන්දරින් ගිහින් ගෝඨාභයට ඡන්දය දෙන්න කිව්වේ ඇයි? ඒ වගේම කම්මුලේ අත ගහගෙන අඬමින් මේ ගැන මතවාදයක් ගොඩනැගුව අය හිටියා. එහෙනම් ඒ සියලු දෙනා ජනාධිපති ඡන්ද ව්‍යාපාරයේ කොටස්කාරයෝ වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – මමත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුණා. කාදිනල්තුමා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියලා කියපු බව දැන් කියවුණා. මේ රටේ ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක් තිබුණා. එහිදී අප අසමත් ගෝඨාභය සමත් කියන විශ්වාසය මත ඒ පත්කිරීම එදා කළේ. හැබැයි ලැජ්ජයි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හොයන්න කියලා පිටරට මාධ්‍යයකින් කියනකම් ඉන්න එක. මේ ගැන පරීක්ෂා කරන්න.

මේ රටේ පාලකයන්ගේ හිතක් පපුවක් නැද්ද පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. කාදිනල්තුමා මට විරුද්ධව ඡන්දය දෙන්න කියලා කිව්වට කමක් නෑ. ඒ කිව්වේ හිතේ තිබුණු වේදනාවට. ඒ වේදනාව අදටත් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයන්න මේ රටේ පරීක්ෂණවලින් බැහැ. මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි. කතෝලික පූජකවරුන්ට කතෝලික ජනතාවට අපහාස කරන්න එපා. ඔවුන්ගේ හදවතේ වේදනාවක් තිබෙනවා. මේගොල්ලෝ පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා ඡන්ද ගත්තා. ඔබතුමාත් ඒක කළා. ඒ නිසා වහාම මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න ඕනෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment