සිසුවාගේ සපත්තුවේ සිටි නයා කකුල කාලා

354

සපත්තුව තුළ සිටි නයි පැටවකු සපා කෑම නිසා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර සිටින කොළඹ ආනන්ද විදුහලේ 8 වැනි ශ්‍රේණියේ සිසුවකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා “දිවයින” ට ඊයේ (24 දා) පැවසීය.

කෙසේ වෙතත් දරුවාට නයි විෂ ශරීරගත වී නොමැති බවත් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර කාර්ය මණ්ඩලය විසින් සිදු කරමින් සිටින බවත් හෙතෙම කීය.

මෙම දරුවා කඩවත සිට පාසලට පැමිණීමට බස් රථයට ගොඩවී තිබේ. එහිදී පාදයකට යමකින් අනිනවා මෙන් දැනී ඇත. එහෙත් එය ගනන් නොගෙන දරුවා පාසලට පැමිණ ඇත. පසුව වේදනාවක් දරුවාට දැනීම නිසා සපත්තුව ගලවා බැලීමේදී සපත්තුව තුළ කුඩා නයි පැටවකු සිටිනු දැක ඇත. පසුව පාසල් බලධාරීන් දරුවා වහා ළමා රෝහලට රැගෙන විත් තිබේ.

දරුවාගේ දකුණු කකුලේ මාපට ඇඟිල්ල නයි පැටවා විසින් සපා කා ඇති බව හෙළි විණැයි ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා මෙසේද කීය.

පාසල් යන දරුවෝ පාසල් ගිහින් ගෙදර ඇවිත් සපත්තුව ගලවලා තියනවා. ආයෙ පහුවදා සපත්තුව ඇතුළ පරික්‍ෂා කරලා බලන්නේ නැතුව ඔහේ දාගෙන එනවා. සමහර විට නය,ි පත්තෑයෝ, ගෝනුස්සෝ සපත්තු තුළ ඉන්න පුළුවන්. ඒ නොසැලකිල්ල නිසා තමන්ගේ ජීවිතය නැතිවෙන්න පවා පුළුවන්. ඒ නිසා දරුවන් පාසල් ගිහින් ආවම ඒ සපත්තු උස් තැනක තබනවානම් හොඳයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුජීව තත්සර සහ තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment