සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහ සටන හෙට – ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා නෙදර්ලන්තය

525

2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම නිමිත්තෙන් පවත්වනු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට (09 වැනිදා) දහවල් 12:30 ට සිම්බාබ්වේ හි හරාරේ හිදී ආරම්භ වේ.

මෙම කණ්ඩායම් දෙකම මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර තරගාවලියේ ශූරයන් තේරීම නිමිත්තෙන් පමණක් මේ තරගය පැවැත්වේ.

මෙම අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් නෙදර්ලන්තය Q1 සහ ශ්‍රී ලංකාව Q2 ලෙස ලෝක කුසලානයේ තරගවදී.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සිට අවසන් මහා තරගයට පළමුව සුදුසුකම් ලැබූ කණ්ඩායම බවට පත්විය.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය ඊයේ (08 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්විණි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තීරණාත්මක තරගයක පෙරේදා නිරත වූ නෙදර්ලන්තය ස්කොට්ලන්තය පරදවා තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙන්ම අවසන් මහා තරගය සඳහා ද සිය ස්ථානය වෙන් කර ගත්තේය.

එහි දී නෙදර්ලන්ත ඉනිමේ වීරයා බවට පත් වෙමින් කඩුලු 5 ක් දවාගෙන ඉන් පසු අගනා ශතකයක් රැස් කරමින් විශිෂ්ට දස්කම් දැක්වීමට බැස් ඩී ලීඩ් සමත් වූයේ ය.

ඔහුගේ එම දස්කම් නිසා 2011 වසරෙන් පසු පළමු වරට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකි විය.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගය සිය ලකුණු වේගය ඉහළ නංවමින් ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට අවශ්‍ය වූ අතර ස්කොට්ලන්තය නියමිත පන්දු වාර 50 අවසානයේ ලකුණු 277ක් රැස් කිරීමට සමත් වූයේය.

නෙදර්ලන්තයට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් පන්දු වාර 44ක් තුළ ලකුණු 278 ලබා ගැනීමට අවශ්‍ය වූ අතර බැස් ඩී ලීඩ් ගේ විශිෂ්ට ශතකය මත පන්දු වාර 42.5 කදී කඩුලු 6 ක් දැවී ඔවුහු එම ඉලක්කය පසුකර ගියහ.

බැස් ඩී ලීඩ් ලකුණු 121 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 52 කට කඩුලු 5ක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment