පාපන්දුව යළි වැඩ අරඹයි – පාපන්දුවට නව යුගයක් උදා කිරීමේ වගකීම අපට තිබෙනවා

134

පාපන්දු සභාපති ජස්වර් උමාර්
ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීම ප්‍රමුඛයි
– උප සභාපති රංජිත් රොඩි්‍රගෝ

ජාත්‍යාන්තර තහනමකට ලක්ව වසරකට ආසන්න කාලයක් අක්‍රීයව පැවැති ශ්‍රී ලංකා පාපන්දු පරිපාලය අද (02 වැනිදා) සිට යළි යථා තත්ත්වයට පත් වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය සඳහා නව නිලධාරි මණ්ඩලයක් තෝරා ගැනීම නිමිත්තෙන් පසුගිය සිකුරාදා පැවැති නිලවරණයේදී අභිනවයෙන් බලයට පත් සභාපති ජස්වර් උමාර් මහතා ඒ අනුව අද ශ්‍රී ලංකා පාපන්දු මූලස්ථානයේ දී වැඩ භාර ගැනීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය අද සිට යථා තත්ත්වයට පත්වීමත් සමග ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ තාවකාලික නිදහස පූර්ණ නිදහසක් බවට පත්වේ.

පාපන්දුවේ නව යුගයක් ඇති කිරීමට තමන් ඇතුළු කණ්ඩායමට විශාල වගකීමක් පැවැරී ඇති බව අදාළ නිලවරණයෙන් ජයගත් පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය සිකුරාදා පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයෙන් සභාපති අපේක්ෂක ජස්වර් උමර් මහතාගේ කණ්ඩායම ඡන්ද 45ක් ලබා බලයට පත් වූ අතර, දක්ෂිත සුමතිපාල මහතාගේ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ඡන්ද 20ක් පමණි.

ඒ අනුව ප්‍රතිශතයෙන් සියයට 70කින් ජස්වර් උමර් මහතාගේ කණ්ඩායම පාපන්දු නිලවරණ ඉතිහාසයේ නව සටහනක් තබමින් ජයග්‍රහණය වාර්තා කළ අතර ජයග්‍රහණයෙන් අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“සියයට 70ක නැත්නම් තුනෙන් දෙකක ඡන්දයකින් අපව ජයග්‍රහණය කිරීමෙන් ලෝකයට අපි ගැන හොඳ පණිවිඩයක් ගියා. සියලු දෙනා දන්නවා අපට ඇති ශක්තිය. ක්‍රීඩා අමාත්‍යාංශය, ෆීෆා හා ආසියානු සංගමය අපගේ ශක්තිය ගැන දැන් හොඳින් දන්නවා. ඒ නිසා මේ ජයග්‍රහණයට වෙහෙසවී කටයුතු කළ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. අපෙන් වෙන්වී ගිය සුළු පිරිසට අප ආරාධනා කරනවා පාපන්දුව ගොඩ ගන්න අත්වැල් බැඳ ගන්න කියා” ජස්වර් උමර් මහතා පැවැසීය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ජාතික පාපන්දු කණ්ඩායම සූදානම් කළ යුතු බව උප සභාපති ධූරයට පත් රංජිත් රොඩි්‍රගෝ මහාතා ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.

එහිදී රංජිත් රොඩි්‍රගෝ මහතා මෙසේ ද කීය.

“මේ නිලවරණයෙන් ජය ගැනීමට ජස්වර් මහතා ඇතුළු අපේ කණ්ඩායමට උදව් කළ සැමට ප්‍රණාමය හිමි වෙනවා. සාමකාමීව සියලු දෙනා එක්කර ගෙන අපේ ගමන යමු. කලාපීය මට්ටමින් ලීග් නියෝජතයන් හමුවෙලා පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් අලුත් සැලස්මක් අප ක්‍රියාත්මක කරනවා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පාපන්දු කණ්ඩායම සූදානම් කළ යුතුයි. සම්මේලනයේ රැකියා කරන සියලු දෙනා කැපවීමෙන් සහයෝගය දිය යුතුයි. හොඳ විනිවිදභාවයකින් අප පාලනය ගෙන යෑමට කැප වෙනවා” රුද්‍රිගූ මහතා පැවැසීය.

ලෝක පාපන්දු හා ආසියානු පාපන්දු නියෝජිතයන් සිවු දෙනකුගේ අධීක්ෂණය යටතේ මෙම පාපන්දු නිලවරණය පැවැති අතර, දැඩි ආරක්ෂාවක් යටතේ ඡන්ද විමසුම සංවිධානය කොට තිබුණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment