චමරි අතපය දිග හරී: නවසීලන්තයට එරෙහිව කඩුලු 9 ක ජයක්

731

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් සිය ක්‍රිකට් දිවියට එක් කර ගන්නා ලද තවත් අනගිභවනීය ශතකයක මහිමය මතින් සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ (27 වැනිදා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූයේය.

තරග 92 කට සහභාගී වී ඇති වමත් පිතිකාරිණි චමරි අතින් ඊයේ වාර්තා වූයේ ඇයගේ 7 වැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.

තරගයේ 26 වන පන්දු වාරයේ 4 වැනි පන්දුවට ලකුණක් ලබා ගනිමින් සිය ශතකය වාර්තා කළ චමරි එම ශතකය සඳහා හතරේ පහර 10ක් සහ හයේ පහර 4 ක් එකතු කරගෙන තිබුණි.

එතැනින් නොනැවතුණු චමරි එම ජයග්‍රහණයට අලංකාරයක් ගෙන එමින් තවත් හයේ පහරක් ඉන් අනතුරුව එල්ල කළාය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා චමරිට අනගි සහායක් ලබාදුන් ඇයගේ සහයක ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න ලකුණු 50 ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය බිඳ වැටෙන විට ශ්‍රී ලංකාව ජයග්‍රහණයට තවත් ලකුණු 12 ක් පමණක් මෙපිටින් සිටියේය. පළමු කඩුල්ල සඳහා ලකුණු 159 ක දැවැන්ත සම්බන්ධතාවයක් ප්‍රදර්ශනය කරන ලද ඔවුහු ලෝක ශුරතා සුපර් ලීග් තරගාවලිය යටතේ නවසීලන්තය සමඟ ගැටුණු පළමු අවස්ථාවෙන් ම ජයග්‍රහණය කිරීමට ඒ අනුව සමත් විය.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 28 කට සීමා වූ එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 28 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 170ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 27 කදී එක් කඩුල්ලක් දැවී එම ඉලක්කය ඉක්මවා ගියේය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඇමෙලියා කෙර් ලකුණු 40 ක් ලබාගත් අතර මැඩී ග්‍රීන් ලකුණු 38 ක් ලබා තිබියදී දුවද්දී දැවී ගියා ය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවා ගත්හ. දුවද්දී දැවී ගිය කඩුලු දෙක සඳහා ද හිමිකම් කීමට ඉනෝකා රණවීරගේ දක්ෂ පන්දු රැකීම ඉවහල් විණි.

මීළඟ තරඟය ද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (30 වැනිදා) පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment