සුනාමි මතකය

579

විහාර මහා දේවිය සමයේ මුහුද ගොඩ ගැලූ බව ඉතිහාසයේ සඳහන් නමුත් ඉන් අනතුරුව මෙරට වැසියන් එවන් අත්දැකීමකට මුහුණදී සිටියේ නැත. එහෙත් 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනිදා කිසිවෙකු නොසිතු නොපැතූ ලෙස අතිශයින් භයංකර අත්දැකීමට මුහුණ පෑමට සිදුවූයේ මෙරට සිදුවූ බිහිසුණුම ඛේදවාචකයේ තරම කියාපාමිනි. ශ්‍රී ලංකාවේ වටිනා මිනිස් ජීවිත 31225 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව ලොවපුරා 225000කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කළ ඒ මහා සුනාමි ඛේදවාචකයට අදට හරියටම වසර 19 ක් සපිරෙයි. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල මුහුදේ 2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු විය. එදින අඩි තිහක් උසට සුනාමි රළ පැවති බව සඳහන් වේ. එය මාරාන්තික ප්‍රවාහයකි. කිසිවෙකුට එය වැළැක්විය නොහැකි විය. යකඩ යකාට මේ රළ පහර දරන්නට අපහසු විය. එනිසාම පැරෑලියේ දුම්රිය අනතුරෙන් 1250කට අධික පිරිසක් මිය ගියහ. තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර මෙය ලෙස සැලකේ. වෙනදා සුන්දර මුහුද අතිශය ප්‍රචණ්ඩ විය. සුනාමිය අත්දකින්නට සිදු වූයේ උඳුවප් පොහෝ දිනකය. අදත් පොහෝ දිනයකි. ඒ විපත නිසා මියගිය අය සිහි කිරීමට විවිධ පින්කම් පැවැත්වෙන දිනයකි. සුනාමි රළ පහර නිසා ගාල්ල, මාතර, හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවල වෙහෙර විහාරස්ථාන බොහොමයක් විනාශ වුවද එහි වූ කිසිදු බුදු පිළිමයකට කිසිදු හානියක් සිදු නොවීම පිළිබඳව බොහෝ දෙනා විමතියට පත්විය. ඇත්තෙන්ම එය මෙම දහම් දිවයිනේ තවමත් නිර්මල බුදු දහම නොනැසී පවතින බව සනාථ වන සැබෑ ආශ්චර්යක්මය. අතිශය දරුණු ලෙස විනාශ වූ ගාල්ල බස් නැවතුම්පළ අසල වූ බුදු පිළිමයට පවා අබමල් රේණුවක හෝ හානියක් සිදු නොවීය. මේ පොහෝ දිනයේ එයත් සිහි කළ යුතුය.

ස්වභාවික ව්‍යසන මානව පරිණාමයේ මූලාරම්භයේ සිටම දක්නට ලැබුණු ක්‍රියාවලියකි. ස්වභාව ධර්මය පාලනය කළ හැකි කිසිවෙකු නැත. භූමිකම්පා, ගිනිකඳු පිපිරීම, කඳු කඩාවැටීම වැනි සිදුවීම් හේතුවෙන් ඇතිවන අධික කම්පනය නිසා සාගර ජලය ඉහළට එසවී විශාල තරංගයක් පැන නඟින අතර ඒ හේතුවෙන් දළ රළ පෙළ ගොඩබිමට කඩා වැදීම සිදුවේ. ආපදා හා ස්වභාවික විපත් ලෙස අප හඳුනාගෙන සිටි ආපදාවලට වඩා සුනාමි ව්‍යසනය වඩාත් බිහිසුණු වූ අතර සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් දීර්ඝ කාලීන දුෂ්කරතාවක ආරම්භයක් විය. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු ඔස්ටේ්‍රලියානු භූ තැටියේය. පිලිපීන් දූපත් හරහා සුමාත්‍රා දූපත් දෙසින් එම භූ තැටිය යුරේසියානු භූ තැටිය හා මායිම් එකිනෙක ඝට්ටනය වීම සුනාමි ඇතිවීමට හේතු වේ. සුනාමි තරංගය ගැඹුරු මුහුදේදී නිර්මාණය වුවද එහි විශාලත්වය හා බරපතළකම වර්ධනය වන්නේ වෙරළ තීරයට ආසන්න වනවිටය. වෙරළ තීරයට ළඟාවනවිට සාගර තීරයේ ගැඹුර අඩුවන නිසා තරංගයේ ශක්තිය ප්‍රබල බැවින් රළ පහර ඉහළට එසවේ. මීට වසර කිහිපයකට පෙර ඇමෙරිකානු මහාචාර්ය ග්‍රෙගර් එබර්ලි පවසා තිබුණේ අඩු තරමින් තව වසර දෙසීයක්වත් ගත වන තුරු ශ්‍රී ලංකාවට සුනාමියක් ඇති වීමට ඉඩ කඩක් නොපෙනෙන බවයි. ඔහු මෙසේද පවසා තිබිණි. “සුනාමියක් හට ගන්න වසර 1000ක් ගත වෙනවා. මේ නිසා ඉදිරි අවුරුදු දහස තුළ ඇතිවෙන සුනාමි 2004 සුනාමියට තරම් විශාල ඒවා නොවෙයි. ඒක හෙට වෙන දෙයක් නොවෙයි, අවුරුදු 100 කින් වෙන දේකුත් නොවෙයි අවුරුදු 200 කින් වෙන දෙයකුත් නෙමෙයි. ඒකට තව විශාල කාලයක් ගත වෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment