සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා කොදෙව් පළමු තරගය අද

175

යොවුන් ලෝක කුසලාන තරගාවලිය

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (30 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

ඔස්ටේ්‍රලියාව සමග පෙරේදා පැවති තරඟය පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම “සී” කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය හිමි කර ගනිමින් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලැබීය.

පෙරේදා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ඔස්ටේ්‍රලියාව කඩුලු 6 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ අනුව මූලික වටයේ තරග 3ම ජයග්‍රහණය කළ ඔස්ටේ්‍රලියා කණ්ඩායම “සී” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූයේය.

ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 12ක් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලැබූ අතර ඉන්දියාව, බංග්ලාදේශය, අයර්ලන්තය, පකිස්ථානය, නවසීලන්තය, නේපාලය.

දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ටේ්‍රලියාව සහ සිම්බාබ්වේ එම කණ්ඩායම් වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඇෆ්ගනිස්ථානය, නැමීබියාව හා ස්කොට්ලන්තය යන කණ්ඩායම් මෙවර තරගාවලියේ සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ කණ්ඩායම් වේ.

සුපිරි 6 වටයේදී ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අමතරව සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග තරග වැදීමට නියමිත අතර එම තරගය ලබන 02 වැනිදා පැවැත්වේ.

මෙවර තරගාවලියේ කාණ්ඩ හතරක් යටතේ මූලික වටයේ තරග පැවැති අතර එහිදී ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන 3 හිමි කර ගත් කණ්ඩායම් 12 සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලැබීය.

ඒ අනුව මූලික වටයේ දී “ඒ” කාණ්ඩයෙන් තේරී පත් වූ රටවල් 3 හා “ඩී” කාණ්ඩයෙන් තේරී පත් රටවල් 3 සුපිරි 6 වටයේ දී එක් කාණ්ඩයකින් තරග වැදීමට නියමිත අතර “බී” කාණ්ඩයෙන් තේරී පත් වූ රටවල් 3 හා “සී” කාණ්ඩයෙන් තේරී පත් රටවල් 3 සුපිරි 6 වටයේ දී අනෙක් කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

සුපිරි 6 වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග දෙක මූලික වටයේදී තමන් ක්‍රීඩා නොකළ කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ රටවල්වලට එරෙහිව පැවැත්වෙයි.

සුපිරි 6 වටයේදී කාණ්ඩ දෙකෙන්ම පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනී.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගයට අමතරව නවසීලන්තය – ඉන්දියාවට එරෙහිව තරගය සහ පකිස්ථානය – අයර්ලන්තයට එරෙහිව තරගයද අද පැවැත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment