හැඳුනුම්පත් අංකයට අනුව අර්ථසාධක සාමාජිකයන් නැවත ලියාපදිංචිය

427

මෙම ලිපියේ මුල් කොටස ඉකුත් ජුනි 27 දින පළවිය.

සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පතෙහි ඇතුළත් තොරතුරු වෙනස් වීම එනම්, සාමාජිකයන්ගේ උප්පැන්න සහතිකයෙහි සඳහන් නම වෙනස් වීම හෝ සාමාජිකයන් විසින් අංක 10 කින් සමන්විත ජාතික හැඳුනුම්පත වෙනුවට අංක 12 කින් සමන්විත නව ජාතික හැඳුනුම්පතක් භාවිත කිරීම යනාදී හේතු මත ජාතික හැඳුනුම්පතෙහි ඇතුළත් තොරතුරුවලට අනුව නැවත ලියාපදිංචි කරන ලද සාමාජික දත්ත පද්ධතියෙහි සංශෝධනයන් සිදු කරනු ලැබේ.

එහිදී නමෙහි වෙනසක් සිදු වී ඇත්නම් ඊට අදාළව උප්පැන්න සහතිකයෙහි දහතුන්වන (13) තීරුවෙහි සඳහන් පරිදි නම වෙනස් වීම සහතික කෙරෙන සාමාජික උප්පැන්න සහතිකයෙහි සේවායෝජක විසින් සහතික කරන ලද පිටපතක් ද, අංක 12 කින් සමන්විත නව ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සම්බන්ධයෙන් වන අවස්ථාවලදී නව ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපතක් ද ලබා ගැනීමෙන් අනතුරුව සියලු තොරතුරු නිසි පරිදි පරීක්ෂා කර බලා අදාළ සංශෝධන සිදු කරනු ලැබේ.

හැඳුනුම්පත් අංකයට අනුව අර්ථසාධක සාමාජිකයන් නැවත ලියාපදිංචිය

වර්තමානයේදී ක්‍රියාත්මක වන නැවත ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතියෙහි පවතින දුර්වලතා

වත්මන් නැවත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සාමාජිකයන්ට සහ සේවා යෝජකයන්ට ප්‍රතිලාභ කිහිපයක් ලබා දුන්නද, ඒ තුළ පහත සඳහන් අඩුපාඩු පවතින බව හඳුනාගෙන ඇත.

●“RR-6” ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමේදී එක් එක් සාමාජිකයාගේ අත්සන අවශ්‍ය වන බැවින් අක්‍රීය සාමාජිකයන් නැවත ලියාපදිංචි කළ නොහැකි වීම.

● සේවායෝජකයන් විසින් “RR – 6” ආකෘති පත්‍ර සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු වන අතර ඒ අනුව දැනට අක්‍රීය ආයතනවල සාමාජිකයන් නැවත ලියාපදිංචි කළ නොහැකි වීම.

● තම ආයතනවලට නව සේවකයන් බඳවාගත් පසුවද නිරතුරුවම සම්පූර්ණ කරන ලද RR-6 ආකෘති පත්‍ර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සේවායෝජකයන්ගේ දැනුවත් භාවය අඩුවීම හේතුවෙන් ව්‍යාපෘතියෙහි අඛණ්ඩ ක්‍රියාකාරිත්වය කෙරෙහි බාධා ඇතිවීම.

● සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි නැවත ලියාපදිංචි කිරීමේ අංශය විසින් සේවකයන් නැවත ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ගේ ජාතික හැඳුනුම්පතෙහි ආයතනය විසින් සහතික කළ පිටපතක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව සේවායෝජකයන් හට සෑම විටම දැනුම් දුන්නද, ඇතැම් සේවායෝජකයන් විසින් අනන්‍යතාව සහතික කිරීමේ ලේඛනයක් ලෙස සේවකයන්ගේ රියැදුරු බලපත්‍රයෙහි හෝ විදේශ ගමන් බලපත්‍රයෙහි සහතික කළ පිටපත් එවීමට කටයුතු කිරීම. එසේ එවනු ලබන රියැදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය අනන්‍යතාව තහවුරු කිරීමේ වලංගු ලේඛනයක් ලෙස පිළිගැනීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙන් නැවත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට බාධා ඇතිවීම.

ව්‍යාපෘතියෙහි II වන අදියර පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීමක්

ව්‍යාපෘතියෙහි II වන අදියර යටතේ 2021.07.01 වන දින සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට (පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්වල ඡායාස්ථගත පිළිබිඹු පිරික්සීමේ පහසුකම) ප්‍රවිෂ්ට වීමේ අවකාශය සැලසුණි.

සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයන් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය අනුව නැවත ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතියෙහි II අදියර ප්‍රධාන වශයෙන් පහත සඳහන් කාණ්ඩ තුන (3) යටතේ පියවර ගණනාවක් අනුගමනය කරමින් සිදු කිරීමට අපේක්ෂිතය. එනම්, අරමුදලෙහි සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට අනුව,

● සක්‍රීය සාමාජිකයන්ගේ තොරතුරු නැවත ලියාපදිංචි කිරීම

● සක්‍රීය නොවන සාමාජිකයන්ගේ තොරතුරු නැවත ලියාපදිංචි කිරීම

● නව සාමාජිකයන් ලියාපදිංචි කිරීම යනාදී වශයෙනි.

ව්‍යාපෘතියෙහි I වන අදියරෙහිදී හඳුනාගත් දුර්වලතා පිටුදකිමින්, ව්‍යාපෘතිය වඩාත් කාර්යක්ෂමව සහ උපරිම නිරවද්‍යතාවක් සහතික කරමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එහි II වන අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, II වන අදියර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ සියලු පූර්ව අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් අනතුරුව, 2023 වසරේ දෙවන භාගය තුළදී II වන අදියර දියත් කිරීමට යෝජිතය.

මූලාශ්‍ර:

ශ්‍රී ලංකා මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව (2005) සේවක අර්ථසාධක අරමුදලේ අත්පොත, ශ්‍රී ලංකා මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව.

ශ්‍රී ලංකා මහ බැංකුව (2022) වාර්ෂික වාර්තාව,ශ්‍රී ලංකා මහ බැංකුව.

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි නිල වෙබ් අඩවිය: www.epf.lk

හැඳුනුම්පත් අංකයට අනුව අර්ථසාධක සාමාජිකයන් නැවත ලියාපදිංචිය

කේ. ඒ. තමරා එන්. සේනාරත්න,

නියෝජ්‍ය අධිකාරී, සේවක අර්ථසාධක

අරමුදල් දෙපාර්තමේන්තුව.

මෙම ලිපියේ ප්‍රකාශිත අදහස් සහ මතයන් ලේඛකයාගේ ස්වාධීන අදහස් වන අතර ඒවා කිසිදු ආයතනයක නිල ප්‍රතිපත්තිය හෝ ස්ථාවරය පිළිබිඹු නොකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment