ඈත රන්විමන් රීමේක් කරයි – තාත්තාගේ නම ගෙනියන්න දුව වැඩ පටන් ගනී

226

තාත්තා කිව්වේ ඉගෙන ගෙන ඉවරවෙලා සින්දු කියන්න කියලා – ඉරෝෂි

ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී…//
මුදු සීත හිම මුදුන්
අතරින් එබී බලනවා
ආ හා හා හා හා ආ හා හා හා හා

ඈත රන්විමන් රීමේක් කරයි - තාත්තාගේ නම ගෙනියන්න දුව වැඩ පටන් ගනී

එදා ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද රචනයෙන් සහ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයෙන් නිර්මාණය වුණු මේ අපූරු නිර්මාණය අපට ඇසෙන්නේ ප්‍රියා සූරියසේන නමැති ලයාන්විතයාගේ හඬිනි. හැත්තෑව දශකයේ මේ සොඳුරු ලයාන්විතයා ගැයූ ගීත 21 වැනි සියවසේත් ජනප්‍රියත්වයේ පවතී. වත්මන් පරපුර මේ ගීතවලට ඇලුම් කරන බව සක්සුදක් සේ පැහැදිලි වන්නේ රියැලිටි වේදිකාවලදී ඔහුගේ ගීතවලට ලැබෙන ඉඩකඩ හේතුවෙනි.

ඈත රන්විමන් රීමේක් කරයි - තාත්තාගේ නම ගෙනියන්න දුව වැඩ පටන් ගනී

ප්‍රියා සූරියසේනගේ ආභාෂය ලබමින් ඔහුගේ පුතා සහ දියණියද ගීත ගායනයට එක්ව සිටිති. හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත් ‘ඈත රන් විමන්. ගීතය ඇයගේ දියණිය වන ඉරෝෂි සූරියසේන 21 වැනි සියවසට ඔබින ආකාරයට සංගීතය මුසුකර ගායනා කර පසුගියදා ඇයගේ යූ ටියුබ් නාලිකාව හරහා එළිදක්වන ලදි. වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකාරිණියක් වන ඉරෝෂි මේ ගීතය ගැන වගේම ඇගේ ඉදිරි සංගීත ගමන ගැනද ‘මීවිත. පාඨකයන් හමුවේ ගෙන හැරපාන්න අමතක කළේ නැහැ.

‘ඇත්තටම මම නිර්මාණය කරපු ‘ඈත රන් විමන්. ගීතයට මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මට කෝල් කරනවා. ඒ හැමෝම කියන්නේ මුල් සින්දුවට කිසිම හානියක් නොකර ප්‍රතිනිර්මාණය කරලා තිබෙනවා කියලා.

තාත්තා සින්දුව අහලා මොකද කිව්වේ?

අප්පච්චිත් ලස්සනයි කිව්වා.

මම මුල ඉඳලා අප්පච්චිගේ උපදෙස් අරගෙන තමයි ගීතය නිර්මාණය කළේ. අප්පච්චිට හරි සන්තෝසයි.

ඉරෝෂි මෙච්චර කල් මොනවද කළේ?

මම මුල ඉඳලම ගායනයට යොමු වුණේ නැහැ. මුලින්ම මම හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔස්ටේ්‍රලියාවට ගිහිල්ලා තමයි උපාධිය හැදෑරුවේ. ලංකාවට ඇවිත් එම්.බී.ඒ. එකත් කළා. අධ්‍යාපනයට මුල්තැන දුන්නා මිසක් සංගීතයට යොමු වුණේ නැහැ.

මේ වෙනකොට ඔබේ වෘත්තිය?

දැනට මම පෞද්ගලික බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණියක් විදිහට සේවය කරනවා. මීට අවුරුදු දෙකකට විතර කලින් තාත්තා එක්ක රූපවාහිනි වැඩසටහන් කිහිපයකට

සහභාගි වුණා. ඒ වෙලාවේ හැමෝම කිව්වේ සින්දුවක් දෙකක් කරන්න කියලා. ඒ වෙලාවේ මම ගීත දෙකක් නිර්මාණය කළා. නමුත් ඒක ලොකුවට ප්‍රචාරය වුණේ නැහැ.

ඊට පස්සේ මොකද වුණේ?

හැමෝම කිව්වා අප්පච්චිගේ සින්දුවක රීමේක් එකක් කරමු කියලා. ඊට පස්සේ තමයි මම මේ ගීතය තෝරා ගත්තේ මේ ගීතයේ රීමේක් එක කළේ චමත් සංගීත්.

ප්‍රසංගවලට ආරාධනා ලැබුණොත් මොකද කරන්නේ?

ඇත්තටම ගීතය රිලීස් කරලා පැය 24 ක් යන්න කලින්ම ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. විදෙස් සංචාර කිහිපයකටත් ආරාධනා ලැබුණා. පුළුවන් තරම්

සහභාගි වෙන්න තමයි බලන්නේ. මම ඇත්තටම කැමතියි සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න. අප්පච්චිගේ නම ගෙනියන්න තමයි මේක නිර්මාණය කළේ.

සංගීත වැඩවලට අප්පච්චිගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

අප්පච්චි නිතරම කියන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ගමන යන්න කියලයි. ආසාවට මේක කළාට කමක් නැහැ හැබැයි තමන්ගේ ගීත කියලා

තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න කියලා තමයි කියන්නේ. අප්පච්චි කියන්නේ මගේ ගීත කිව්වා කියලා ඒක සදාකාලිකව අරගෙන යන්න බැහැ කියලයි. ඒක ඇත්තටම අප්පච්චි කියන එක සම්පූර්ණයෙන් පිළිගන්නවා. මම මගේම ගීත කිහිපයකුත් නිර්මාණය කරලා තියෙනවා.

ඉරෝෂි තාත්තා ගේ සින්දුවලින් යැපෙන්න සූදානමක් නැහැ.

ඔව්. එහෙම කරන එක වැරදියි. මොකද අප්පච්චි ඒ කාලේ හරි අමාරුවෙන් මහන්සියෙන් කරපු ගීත එතකොට මම ඒකෙන්ම යැපෙන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ප්‍රේක්‍ෂකයෝ බලාපොරොත්තු වෙනවා අප්පච්චිගේ සින්දු දෙක තුනක් කියන්න ඕනෑ කියලා ඒකටයි මා නිර්මාණය කළෙත්.

ප්‍රියා සූරියසේනගේ දුව වීම ගැන මොකද හිතන්නේ?

මම නිහතමානිව ආඩම්බර වෙනවා. අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. තාත්තා ඒ කාලේ ඉඳලා අපි හතර දෙනාටම කිව්වේ ඉගෙන ගෙන ඉවරවෙලා සින්දු කියන්න කියලා. අපි හතර දෙනාම හොඳටම ඉගෙන ගත්තා. සින්දු කියන්න ගත්තොත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ නැහැ මොකද මේක හරි ආස ක්‍ෂේත්‍රයක් නේ කියලත් කිව්වා. මම බැංකු නිලධාරිණියක්. අක්කා වෛiවරියක්. මල්ලි ඉංජිනේරුවෙක්. නංගි මානව සම්පත් කළමනාකාරි අංශයේ සේවය කරන්නේ. ඒ පැත්තට යොමු වුණේ නෑ.

ගෙදර සංගීත පරිසරයක් හින්දා සංගීතයෙන් ඉස්සරහට යන්න ඕනෑ කියලා හිතුණේ නැතිද?

නැහැ. අප්පච්චි කිව්වේ ඒ ලෙවල් හොඳට කරන්න. ඒ ලෙවල් හොඳට කළොත් මම සින්දු කියන්න දෙනවා කියලත් කිව්වා. මම ඒ ලෙවල් වලින් ලංකාවේ තුන්වැනියා.

ඉරෝෂිගේ පවුලේ විස්තර?

මම විවාහකයි. සැමියත් පෞද්ගලික බැංකුවක ඉහළ නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. සැමියාගෙන් මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment