IMF දෙවැනි වාරික සාකච්ඡා ධනාත්මකලු

304

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.එසේම දෙවැනි වාරිකය ලබා ගැනී‍ම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළා.ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ඇතිකිරීම සඳහා මෙතෙක් ගෙන තිබෙන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතුව තිබෙන කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණිය යුතුව තිබෙනවා.කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් සංචාරය නිමා කර මෙරටට පැමිණීමෙන් පසුව සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමඟ තවදුටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ධනාත්මක සමාලෝචනයක් සිදුකර තිබෙනවා. කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමෙන් පසුව ඉදිරි වැඩකටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment