ලෝක උරුම එල්ලංගාවෙන් පණගන්වන පැරණි කෘෂිකර්මාන්තය

421

ගොවීන් දේශගුණික විපර්යාසවලට කදිම විසඳුමක්

ගොවීන් හත්ලක්ෂ පනස් දහසකට සෘජු ප‍්‍රතිලාභ

පළුගස්වැව උඩ කඩවල. පැරැන්නන්ගේ වාරි ශිෂ්ටාචාරයේ මහිමයෙන් සාරවත් වූ සාර භූමිය. ලෝකයාට අත නොපා අතීත මුතුන් මිත්තන්ගේ අඩි පාරේ යමින් ගොවි ගෙවිලියන් වගා සංග‍්‍රාමයේ යෙදෙන මනරම් පරිසරය. තවදුරටත් පිට රැටියන්ගෙ පොහොර නැව් එන තුරු දත නියවන් නැති උස් බලාපොරොත්තු සහිත මිනිසුන්ගේ ධෛර්ය කියාපාන නිල්ල පිරුණු ගම්මානය. මෙතැන් සිට අපි ඔබට හෙළි කරන්නෙ පරිසරය මුල් කරගත්ත තිරසාර කෘෂිකර්මාන්තයකට හිමිකම් කියන ඒ මිනිසුන් පිරිසකගේ කතාව.

මේ කතාව ගැටගැහිල තියෙන්නෙ වර්තමානයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දීල තියෙන කෘෂිකර්මාන්ත ක්‍ෂේත‍්‍රයත් එක්ක. පෝරුව සහ නගුල අත්හැරියට පස්සෙ මේ රටේ කෘෂි කර්මාන්ත ක්‍ෂේත‍්‍රය නගා සිටුවීමට නවීන තාක්ෂණයත් එක්ක විවිධ අත්හදා බැලීම් සිදුවුණේ කාලයක සිට. බව බෝගවල ඵලදායිතාව නැංවීමේ අරමුණින් පසුගිය කාලේ කළ ඒ බොහෝ සැලසුම්වලදී අමතක කළ දෙයක් තිබුණා. ඒ තමයි ලෝකයාම විශ්මයට පත්කළ අපේ වාරි තාක්ෂණය. එම වාරි තාක්ෂණය හා බැඳි පරිසර හිතකාමි කෘෂිකර්මාන්තයක් තිබුණ පොළොවක් මේක. ඉකුත් අඩසියවසක කාලය මුළුල්ලේම ඒ අතීතය පණ ගන්වන්නෙ නැතිව අපි හතිදාගෙන දිව්වෙ විදේශිකයන්ගෙ තාක්ෂණය සහ දැනුම පස්සෙ. අන්තිමට අපට ලැබුණෙ එම තාක්ෂණය අස්සෙ හංගලා එව්ව ලෙඩ රෝග. ඒ ලෙඩවලට ප‍්‍රතිකර්ම හොයාගෙන අපිට ආයෙත් පිටරැටින්ගෙ පස්සෙ දුවන්න වුණා. කෘමි නාශක නැතිව ගොයම හානි වුණා. යූරියා එනකන් මුහුද දෙස බලන් ඉන්න වුණා. අපි අපේම දිහා හැරිල බලද්දි අපි හිටියෙ වැළලී යමින් තිබුණ දැනුම් නිධානයක් උඩ හිටගෙන අහසට හූල්ලමින්. මේ නිධානය වෙන මොනවත් නෙවෙයි, අපේ වාරි ශිෂ්ටාචාරයේ සුවිශේෂී වාරි පද්ධතියක් වන එල්ලංගා පද්ධතිය. වැව් එල්ලංගා පද්ධතියක් කියන්නෙ තිරසර පදනමක් මත මානවයාගේ මැදිහත් වීමෙන් ජලය, පස, වාතය සහ වෘක්ෂලතාදිය මගින් මානව ශාක සහ සත්ව ප‍්‍රජාවගේ මූලික අවශ්‍යතා සපුරමින්, වියළි කලාපීය භූරූපණයේ ක්ෂුද්‍ර පෝෂක ප‍්‍රදේශවල සංවිධානය වූ භූමි සහ ජල සම්පත්වලින් හෙබි පරිසර පද්ධතියකට. වියළි කලාපයේ ජල සංරක්ෂණය කිරීමේ ප‍්‍රධානම ක‍්‍රමය වූ මෙම එල්ලංගා පද්ධතියේ වටිනාකම 2015 වන තෙක්ම පැවතියෙ ලොවෙන් සැඟවිල. එහි වටිනාකම වර්තමාන ලෝකයට හෙළි කළේ ආචාර්ය පී. බී. ධර්මසේනයන්. මේ රටේ වියළි කලාපයේ ජල කළමනාකරණය හා බැඳි කෘෂිකර්මාන්තය පිළිබඳ ඔහු ලියන වාර්තාවක් නිසා, පැරැන්නන් භාවිතා කළ එල්ලංගා පද්ධති පරිසරය එක්සත් ජාතීන් විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනවා. මේ රටේ තිබෙන 14200 වන කුඩා ග‍්‍රාමීය වැව්වලින් සියයට අසූවක්ම පවතින්නෙ මේ එල්ලංගා පද්ධති ලෙසට. වෙනත් විදියකට කිව්වොත් වැව් පොකුරු ලෙසට. වර්තමානයේදී මෙවැනි එල්ලංගා පද්ධති 1262 ක් හඳුනාගෙන තිබුණත් එක්සත් ජාතීන් ලෝක උරුම පරිසර පද්ධතියක් ලෙසට නම් කරන්නෙ පළුගස්වැව උඩකඩවල වැව් එල්ලංගාව. පළුගස් වැව උඩකඩවල එකී ලෝක උරුම පරිසර පද්ධතියේ පාරිසරක කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන් මේ කතාවෙදි වැදගත් වෙන්නෙ ඒ යටගිය වාරි තාක්ෂණයත් දැනුමත් එක්ක අලූත් ගමනක් ඇරඹූ මිනිසුන් පිරිසක් නිසා. ඔවුන් කියන්නෙ වැව් ගම් පුබුදුවත් එක්ක ආව දැනුම, තාක්ෂණය සහ මගපෙන්වීම ඔවුන් සිතිවිලි වෙනස් කළා කියලයි.

ලෝක උරුම එල්ලංගාවෙන් පණගන්වන පැරණි කෘෂිකර්මාන්තය

‘‘අපි සාම්ප‍්‍රදායික විදියට හිතන එක වෙනස් කරන්න හේතු දෙකක් බලපෑවා. එකක් කොවිඞ් වසංගතයත් එක්ක බෝග වගාවට අවශ්‍ය බීජ නැති වෙද්දි අපට අලූතින් හිතන්න වුණා. ඒත් එක්ක ගමට ආව වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය අපිට අලූත් මාවතක් පෙන්නුවා.’ එහෙම කියන්නෙ පළුගස්වැව උඩකඩවල ලොකු ලූනු බීජ ගොවියෙක් වන සුසන්ත කුමාර. කොවිඞ් වසංගතය සමග වගාවන් සඳහා අවශ්‍ය ලූනු බීජ හිඟ වෙද්දි සුසන්තලා හිටියෙ කනස්සල්ලෙන්. සමහර කාලවලදි වගාවට අවශ්‍ය බීජ නෑ. බීජ ලැබෙද්දි උපරිම ඵලදාව ගත හැකි තාක්ෂණය දන්නෙ නෑ. හොඳ ඵලදාවක් ගත්තත් ඊට සරිලන වෙළඳෙපොළක් හදාගන්න බෑ. මේ වගේ ඉවරයක් නැති ප‍්‍රශ්නවලට ඔවුන්ට පිළිතුරක් හොයල දුන්නෙ වැව් ගම් පුබුදුවේ කෘෂි කාර්මික උපදේශන සහ ආධාර වැඩසටහන.

ඇත්තටම කිව්වොත් මේ වැඩසටහනත් එක්ක මම ගොවිතැන් කරන විදියත් වෙනස් වුණා. කෘෂි කාර්මික උපදේශනය විතරක් නෙවෙයි මූල්‍ය කළමනාකරණය ගැන දැනුමත් ගත්තෙ මේ ව්‍යාපෘතියට සම්බන්ධ වීම නිසා. මම නම් ලූනු බීජ වගාවට යොමු වුණේ වසර තුනකට විතර කලින්. මුලදි ගමේ හැමෝම කිව්වෙ මේකත් හරි යන්නෙ නැති වැඩක් කියල. ඒත් වෙළඳෙපොළේ ලොකු ලූනු බීජ කිලෝ එකක් දැන් රුපියල් තිස් පන්දහසට වඩා ඉහළයි. පසුගිය කන්නයෙත් ලොකු ලූනු බීජ අලෙවියෙන් අපි හොඳ ආදායමක් ගත්තා. අපිට රසායනික පොහොර නැති එක ප‍්‍රශ්නයක් වුණේ නෑ. මේ තියෙන කෘෂි කාර්මික ගැටලූවට සාර්ථකව මුහුණ දෙන්නෙ කොහොමද කියල අපි මේ වැඩසටනින් ඉගෙන ගත්තෙ ප‍්‍රශ්නය ඇති වෙන්නත් කලින්. දේශගුණික විපර්යාසවලට අනුහුරු වෙලා කොහොමද අපි අපිට අවශ්‍ය පොහොර ටික හදාගෙන සාර්ථක වගාවකට යන්නෙ. මේ තියෙන්නෙ ඒ සාර්ථකත්වය. සුසන්ත එහෙම කිව්වෙ අලූතෙන්ම දැමූ බී ලූනු බීජ වගාව අපට පෙන්වමින්.

ඒ වගාව බලන්න තරම් හිතට ප‍්‍රියයි. බී ලූනු බීජ කිලෝ එකක වගාවක බීජ අස්වැන්නෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ ඉපයිය හැකි බවයි ඔහු අපට කියන්නෙ.

සුසන්තට පස්සෙ අපට හමුවුණ කුසුම්ලතා බී ලූනු බීජ වගාවට යොමු වෙද්දි ඇය සමග ගමෙන්ම ව්‍යාපෘතියට හිටියේ කාන්තාවෝ දෙන්න තුන්දෙනයි. වී සහ හේන් ගොවිතැනට යොමුවෙලා හිටිය කුසුම්ලතාලා මේ ව්‍යාපෘතියත් ලූනු බීජ වගාවට යොමුවෙද්දි හැමෝම බැලූවෙ නොකෙරෙන වැඩක් ගාණට. ඒත් වගාව දාලා මාස තුනෙන් බීජ ඵලදාව එක්ක හොඳ ලාභයක් ගද්දි ඒක දැක්ක ගමේ තවත් කාන්තාවෝ ඇයගෙ අඩි පාරේම මේ ව්‍යාපෘතියට එකතු වුණා. දැන් ගමේ කාන්තාවන් පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් කරන්නෙ ලූනු බීජ වගාව.

සුසන්තලාට පරිසරය හා බද්ධ වුණු මේ සාරවත් කෘෂිකර්ම තාක්ෂණට පිවිසීමේ වරම හිමිවෙන්නෙ ශ‍්‍රී ලංකාවත් දේශගුණික විපර්යාසවලට අනුහුරු වීමේ එක්සත් ජාතීන්ගෙ රාමුගත සම්මුතියේ කොටස්කරුවෙක් වීම නිසා. වැව් ගම් පුබුදුව පළුගස් වැවට එන්නේ උඩකඩවල එල්ලංගාව ලෝක උරුමයක් වන නිසා වුණත් එම ව්‍යාපෘතිය සවිබල ගැන්වෙන්නෙ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසවලට අනුහුරු වීමේ රාමුගත සම්මුතිය. ලෝකයේ කාලගුණ විපර්යාසවලට ලක්වෙන රටවලට පොදුවේ ආධාර කිරීම එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ ප‍්‍රමුඛම වගකීමක්. වැව් ගම් පුබුදුව සඳහා මූල්‍ය පහසුකම් ලැබෙන්නෙ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය යටතේ ස්ථාපිත කළ හරිත කාලගුණ විපර්යාස සඳහා වන අරමුදලින්. ඒ් ආධාර රටට ගේන්න මුල් වෙන්නේ 2017 වසරේදි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පැරිස් සමුළුවේදී කළ ඉල්ලීමක්. එම ඉල්ලීම මත ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ කාලගුණ විපර්යාස සඳහා ඇති ලෝකයේ විශාලතම අරමුදල වන හරිත දේශගුණික අරමුදලට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනවා. එම යෝජනාව මත එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස සඳහා වන අරමුදලින් ලැබෙන ඩොලර් මිලියන 39 ක් සහ රජයෙන් ලැබෙන ඩොලර් මිලියන 17 ක එකතුවෙන් මේ ව්‍යාපෘතිය පණ ගැන්වෙන්නෙ.

ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වෙන්නෙ පළුගස් වැව විතරක්ම නෙමෙයි. මී ඔය, මල්වතු ඔය සහ යාන් ඔය නමැති ප‍්‍රධාන ගංගා ද්‍රෝණි තුන මුල් කරගෙන දිස්ත‍්‍රික්ක හතක මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මකයි. ඒ සෑම ප‍්‍රදේශයක්ම අපේ වාරි ශිෂ්ටාචාරයෙන් පෝෂණය වූ ප‍්‍රදේශ. ව්‍යාපෘතියේ අරමුණ ලංකාවේ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින සුළු පරිමාණ ගොවීන් එම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම. ඒ ඉලක්කය වෙනුවෙන් දැනුම ශ‍්‍රමය යොදන දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර හසිත වේවැල්දෙණිය මහතා මේ ව්‍යාපෘතියේ වැදගත්කම සහ එය බිම් මට්ටමෙන් සිදුවන ආකාරය ගැන පහදන්නෙ මෙහෙම.

‘‘ගොවියෝ වගේම විශේෂයෙන් ගොවි කාන්තාවන් තමයි අපේ ඉලක්කගත කණ්ඩායම. අපි සැලසුම් කරල තියෙන්නෙ මේ දිස්ත‍්‍රික්ක හත තුළ ඉන්න ගොවීන් හත්ලක්ෂ පනස් දහසකට සෘජු ප‍්‍රතිලාභ හිමිකර දෙන්න. ඒත් එක්කම ලක්ෂ එකොළහකට විතර මෙයින් වක‍්‍ර ප‍්‍රතිලාභ හිමිවෙනවා. පළුගස්වැව එල්ලංගා පද්ධතිය මේ ව්‍යාපෘතියට සම්බන්ධ කරගන්නෙ ඒක ලෝක උරුම කෘෂිකාර්මික උරුමයක් ලෙස නම්කර තියෙද්දි. එතනදි අපි එම එල්ලංගා පද්ධතියට අයත් වැව් නවයක් ප‍්‍රතිසංස්කරණය කළා. මේ වැව් නවය අතරින් කපුගම සහ දුම්බුළුවාව වැව් දෙක හරි විශේෂයි. මේ ව්‍යාපෘතියේ තියෙන සංකල්පීය රාමුව බලන්න පුළුවන් මොඞ්ල් සයිට් එක තියෙන්නෙ එතන. වැවේ රොන් මඩ ඉවත් කරන එකේ ඉඳන් කුඹුරු යායට වතුර ගෙනියන්න ඇළ මාර්ග හදලා පැරණි විදියට කට්ටකාඩුව නැවත වගා කරන එක පවා එතනදි සිදුවුණා.’’

වැව් ගම් පුබුදුව ගමට එන්න කලින් වැවේ ඉහත්තෑවේ ගොවීන් වගා කළේ කොමඩු, බඩඉරිඟු වැනි කෙටි කාලීන බෝග. කාලගුණ විපර්යාස ඇතිවෙද්දි විනාශ වීමේ අවදානමේ ඉහළින්ම තියෙන්නෙ කෙටි කාලීන බෝග. එම බෝග එල්ලංගා පරිසර පද්ධතියට ඒතරම් ගූණදායක එකක් නම් නොවෙයි. ව්‍යාපෘතිය නිසා ගොවීන් දැන් ඒ අවදානමෙනුත් මිදිලා. දැන් කෙටි කාල බෝග වගාවෙන් ක‍්‍රමිකව ඈත් වුණා. ඒ බොහෝ දෙනෙක් අඹ පොල් වැනි දීර්ඝකාලීන වගාවන්ට යොමුවෙලා. ඒ ගස් සරුසාරව වැඩෙද්දි වැව් ඉහත්තෑව කොළ පාට වන ආවරණයක් සේ පරිසරය එක් වේවි. දැනට හඳුනාගෙන ඇති එල්ලංගා පද්ධති 1262 න් අවමයක හෝ මේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය පණ ගැන්වීම මේ රට සුන්දර තැනක් වීමට හේතු වේවි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment