අක්‍රීය වත්කම් සම්බන්ධයෙන් මහජන බැංකුව කරුණු පහදයි

321

මහජන බැංකුවේ අක්‍රීය වත්කම් (ණය) කළඹ (NPA) සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ පැතිර ගිය කතාබහ සැලකිල්ලට ගනිමින්, මහජන බැංකුව ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 එම නිවේදනය මෙසේය.

 අක්‍රීය ණය යනු නියමිත කාලසීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිදුකර නොමැති ණය වේ. මෙය කිසිදු ලෙසකින් ණය කපා හැරීමක් නොවේ. යම් ණයක් අක්‍රීය වත්කමක් ලෙස

 වර්ගීකරණය කෙරුණු විට පසු විපරම්, සාකච්ඡා, වෙන්දේසි කිරීම සහ නඩු පැවරීම වැනි ක්‍රියාවන්ගෙන් සමන්විත ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලියක් බැංකුව ආරම්භ කරයි. වඩාත් නිරවුල් අවබෝධයක් ඇති කර ගනු පිණිස මෙම ක්‍රියාවලිය පිළිබඳව පහත සඳහන් පැහැදිලි කිරීම සිදුකර ඇත.

 ණය කපා හැරීමක් සිදු කරන්නේ එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගත හැකි වන සෑම මාර්ගයක්ම සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වී ඇත්නම් පමණි. බැංකුවේ අක්‍රීය වත්කම් (ණය) කළඹ සමන්විත වන්නේ පසුගිය දශක දෙකකට අධික කාලයක් තුළදී ලබාදී ඇති විවිධ ණය පහසුකම්වලිනි.

 පසුගිය දිනවල මාධ්‍යයන්හි කතාබහට ලක්වූ කිසිදු ණය මුදලක් කපා හැර නැත. මෙරට බැංකු පද්ධතිය තුළ මහජන බැංකුවේ අක්‍රීය වත්කම් ප්‍රතිශතය සාධනීය තත්ත්වයක පවතී. සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සඳහා අසමසම ආරක්ෂාවක් සපයන වගකිවයුතු මූල්‍ය සේවා සපයන්නකු ලෙස මහජන බැංකුව, අක්‍රීය වත්කම් අයකර ගැනීම තම ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකන බව එහි සඳහන් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment