අත්අඩංගුවට ගත් සීතාවක ප්‍රා. සභා ලේකම් වහාම ඇප මත මුදාහැරීමට නියෝග

224

අවිස්සාවේල්ල බස් නැවතුම්පළේ නව වෙළෙඳ සංකීර්ණයේ පිහිටි කඩ කාමරයක උරුමය පවරාදීමට රුපියල් ලක්‍ෂ හතරක අල්ලසක් ලබාගත්තේ යැයි කියන ආදායම් බදු නිලධාරියකුට ඒ සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය වහාම ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

අල්ලස් ලෙස ලබාගත්තේ යැයි කියන මුදල සන්තකයේ නොතිබියදීත් වෙනත් සැකකරුවකු විසින් කරන ලද ප්‍රකාශයක් මත එම සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙවැනි ආකාරයක අත්අඩංගුවට ගැනීම් සිදුවුවහොත් ඕනෑම රාජ්‍ය ආයතනයක රාජකාරි කරන නිලධාරීන් වෙනත් පුද්ගලයකු මගින් සටහන් යොදා අත්අඩංගුවට ගැනීමේ දැඩි අනතුරුදායක බවක් ඇති බවත් පෙන්වා දෙමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

එවැනි තත්ත්වයක් මතු වුවහොත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අවභාවිත කිරීම සඳහා එනම් නිසි කාර්ය පටිපාටියෙන් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයේ සහාය ලබා ගැනීමට ඉඩහැරීමක් වන්නේ යැයි ද සිය නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එදිරිසිංහ ආරච්චිගේ මංජුලා ඇලෙක්සැන්ඩර් නමැති එම සැකකාරිය රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

එම නඩුවේ පළමුවන සැකකාර දන්ත කෞශල්‍ය වීරක්කොඩි නමැත්තා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ආර්. ඒ. පී. රණවක මහතා දෙවන සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment