අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි ඇති කරගත යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් කියයි

143

ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි ඇති කරගත යුතු බවත් ඊට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළ පවතින බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ ඊයේ(05දා) පෙරවරුවේ කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

“ගෘහ නිර්මාණ ශිල්පය : කල්පවත්නා බලපෑමක්” තේමාව යටතේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය (RIBA) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු වාස්තු විද්‍යා ආයතනය (AIA) ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය සමඟ එක්ව මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකාවේ සහ දකුණු හා අග්නිදිග ආසියා කලාපයේ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු 350කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පීන් කල්පවතින නිර්මාණ සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලූ විට ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ සාඩම්බර සිහිවටන අපට තිබෙනවා. රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය ඉදිකිරීම් බව කිව හැකියි. මෙරට විශ්මිත නිර්මාණයන් පිළිබඳ හොඳම වාස්තු විද්‍යාත්මක උදාහරණය සීගිරියයි. පොළොන්නරුවේ දකින්න තිබෙන විශ්මිත ඉදිකිරීම්වලට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙනවා. ඒ වගේම 19 වන සියවසේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ චැපල් ශාලාව, කැලණි විහාරය, ලේක් හවුස් ගොඩනැඟිල්ල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නිදහස් චතුරස්‍රය, ජෙෆ්රි බාවා නිර්මාණය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑත ඉතිහාසයේ සිදු කළ විශ්මිත නිර්මාණ අතරට ගැනෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අප මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරයකයන්ගේ ප්‍රමාණය මිලියන 2.5 සිට මිලියන 5ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ නිසා මෙරට හෝටල් ගොඩනැඟිලි නවීකරණය කිරීම අවශ්‍ය වෙනවා. එහිදී මෙරට ගෘහ නිර්මාණ ශිල්පය ඉතා වැදගත්. වරාය නගරයේ රජයට අයත් කොටසේ ඉදිකිරීම් සඳහා අපේ ගෘහ නිර්මාණශිල්පීන්ගේ උපදෙස් ලබාගැනීමට මම බලාපොරොත්තු වෙනවා.

ඉදිරියේදී ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා රට තුළ මෙන්ම රටින් පිටත හොඳ අවස්ථා නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ ඒ සඳහා පුළුල් අවස්ථාවන් පවතින අතර දැනටමත් ඒ වෙනුවෙන් ආරාධනා ලැබී තිබෙනවා. ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්පීන් සහ වාස්තු විද්‍යඥයන් තම දියුණුව වෙනුවෙන් මෙම අවස්ථා භාවිතා කළ යුතු අතර හොඳ නාමයක්ද ගොඩනඟා ගත යුතුයි.

කොළඹ නගරය ඉතා සුන්දර නගරයක් බවට පත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම මේ වන විටත් අප ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය මඩකලපුව වේරුගල්ආරු දක්වා සංචාරක පුරයක් ඇති කිරීමට ඒ තුළින් බලාපොරොත්තු වෙනවා. එහි නිර්මාණ සැලසුම් සඳහා ඔබටත් දායක විය හැකියි. එසේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමටද ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.

මහනුවර නගරය තුළ විධිමත් නගර සංවර්ධන සැලැස්මක් නැවත ක්‍රියාත්මක කිරීමට අප ජපාන රජය සමඟ සාකච්ඡා කරනවා. එම නව නගර සැලැස්ම සහ පාලම පේරාදෙණිය දක්වා දීර්ඝ කළ යුතුයි. ඒවගේම නැවත විධිමත් සංවර්ධනයකට ලක් කළයුතු තවත් නගර තිබෙනවා. මෙම සියලු‍ කටයුතු අප සිදු කළ යුතුයි. එම අභියෝගය භාර ගැනීමට ඔබ සූදානම් වන්න.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. මම 2016 වසරේ එම වගකීම භාරගෙන ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළා. දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ න්‍යාය පත්‍රය වේගවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සැසියේදී මහ ලේකම්වරයා සියලු‍ සාමාජික රටවල් වෙත දැනුම් දුන්නා. අද යුරෝපයේ විශාල ලැව් ගිනි ඇති වී තිබෙනවා. ඒ නිසා 2050ට පෙර මෙම අරමුණු ජය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සොයා බලමින් සිටිනවා.

ඒ වගේම අපේ ගෘහ නිර්මාණ ශිල්පීන් දේශගුණික විපර්යාස පිළිබඳ නිර්ණායකවලටද අනුකූල විය යුතුයි. අනාගත දේශගුණ විපර්යාසවලට ගැළපෙන නිර්මාණ කිරීමට මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන් හැඩ ගැස්විය යුතුයි. ඒ සඳහා නිසි ප්‍රමිතියක් ඇති කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. මෑත යුගයේදී මෙරට ඉදි කර තිබෙන ඇතැම් ගොඩනැඟිලි වසර 1000ක් 2000ක් පවත්වා ගෙන යන්න බැහැ. එබැවින් අතීතයේ මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය යළි ගෘහ නිර්මාණ ශිල්පයට එක් කරගත යුතුව තිබෙනවා. එම වගකීම ඔබ භාරගත යුතුයි.

අමෙරිකානු ‍නියෝජ්‍ය තානාපති ඩග්ලස් ‍‍ සොනෙක්, බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් ලීසා වොන්ස්ටොල් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment