අද හෝ හෙට අලුත්ම තීරණයක්: අධ්‍යාපනය ‘අත්‍යවශ්‍ය’ කළත් පිළිතුරු පත්‍ර බැලීම ඊට අදාළ නෑ

92
  • මහාචාර්ය ශ්‍යාම් බන්නැහක

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සම්බන්ධයෙන් අද හෝ හෙට (21 හෝ 22) තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහක මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමද අත්‍යවශ්‍ය බවට ඇතුළත්ව එය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් එයට තම සංගමයද එකඟ බවත් ඒ මහතා කීය.

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවවාක් කළත් එයට පිළිතුරු පත්‍ර බැලීම කියන එක අදාළ නොවන බවත්, එය ආචාර්යවරුන්ගේ මනාපය අනුව සිදුකරන කටයුත්තක් බවත් ඒ මහතා කීය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ද සිටින බවත්, පිළිතුරු පත්‍ර බැලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ආචාර්යවරුන්ගේ අසාධාරණ ලෙස බදු අයකර ගැනීම නිසා බවද ඒ මහතා කීය.

මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අයකරන බැංකු ණය මාස කිහිපයක් අය නොකර සිටීමට රාජ්‍ය බැංකු දෙකක් එකඟතාවයට පැමිණෙන බවට දැනුම්දී තිබෙන බවත් එය ක්‍රියාත්මක වන්නේ නම් පිළිතුරු පත්‍ර බැලීම කෙරෙහි යම් එකඟතාවයකට පැමිණීමට අදහස්කරන බවත් ඒ මහතා කීය. මේ සඳහා සම්මේලනයේ විධායක සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවද හෙතෙම කීය. විධායක සභාව 150 ක පමණ පිරිසක් නියෝජනය වන බවද ඒ මහතා කීය.

මෙම ගැටලුව මෙච්චර කාලයක් පවතින්නේ අදාළ බලධාරීන් නිසි සාකච්ඡාවක් හෝ නිසි පිළිතුරක් ලබානොදීම නිසා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment