ජනවාරි – පෙබරවාරි වනවිට උග‍්‍ර විදුලි අර්බූදයක් – ලංවීම ඉංජිනේරුවෝ අනතුරු අගවති

493

මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය සියයට හැට හැත්තෑවක උපරිම ධාරිතාවෙන් ලබාගැනීම නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාව තිබුණත් ලබන ජනවාරි පෙබරවාරි වනවිට බරපතළ විදුලි අර්බුදයක් ඇතිවනු ඇතැයි ලංවිම ඉංජිනේරු සංගමයේ නිලධාරීහු කියා සිටිති.

මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරුවල මිල ගණන් යළි පහළ යමින් තිබෙන මුත් ගල්අඟුරු මිලදී ගැනීමට ඩොලර් අවශ්‍ය වන බැවින් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් විදුලි උත්පාදනය කිරීමද අභියෝගාත්මක විය හැකි බවද එම සංගමයේ නිලධාරීහු සඳහන් කළහ.

මෙගාවොට් 900කින් යුත් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මගින් රටට අවශ්‍ය මුළු විදුලි අවශ්‍යතාවලින් සියයට 45ක් පමණ පිරිමසාගත හැකි මුත් එළඹෙන ජනවාරි, පෙබරවාරි වනවිට විදුලි බලාගාර ආශ‍්‍රිත ජල පෝෂක ප‍්‍රදේශවලට අවශ්‍ය ජලය නොලැබී ගියහොත් අඛණ්ඩව විදුලිය ලබාදීම ගැටලූකාරී වන බවද ඉංජිනේරුවෝ පවසති.

ජල විදුලි නිෂ්පාදනය සියයට හැට හැත්තෑවක උපරිම මට්ටමට ළඟාවී තිබෙන නිසා මේ වනවිට ඞීසල් මගින් විදුලිය ජනනය කිරීම නතර කර ඇති අතර නියඟය පැමිණියහොත් පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට යෑමෙන් ලංවිම දැනට ලබා තිබෙන කෝටි 9000ක පාඩුව තවත් ඉහළ යනු ඇතැයිද ඉංජිනේරුවෝ විශ්වාස කරති.

එනිසා ලබන ජනවාරි පෙබරවාරි මාසවලින් පසුව ඇතිවන තත්ත්වයට මුහුණදීමට දැන් සිටම සැලසුම් කළයුතු බවද ඔවුහු තවදුරටත් කියා සිටියහ.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment