අයියෝ ලැජ්ජයි ලෝක වෙළෙඳපොළ

748

මධ්‍යම රාත්‍රිය යළිත් බිහිසුණු බව පසක් වූයේ පෙරේදා රාත්‍රී සිට නැවත වතාවක් තෙල් මිල ඉහළ යෑමෙනි. විවිධ ණය තුරුස්වලට යටවී තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව ළතවෙන මධ්‍යම පෙළ සිට ඊට පහළින් සිටින ජනතාවට ඒ වූ කලී සැලකිය යුතු තරමේ වැඩි කිරීමක්ය. එහෙත් තෙල් මිල ගණන් අඩුවට ඇතැයි කියා අස්වැසිල්ල අපට තිබේ. ඒ අලුතින් මත්තේගොඩින් ආරම්භ කළ චීන සයිනොපෙක් තෙල් අනෙක්වාට වඩා රුපියල් තුනකින් අඩු බැවිනි. තෙල් ලීටර් දහයක් ගසා ගන්නා කෙනෙකුට රුපියල් තිහක ඉතුරුවක් ඇත. එවැනි අයෙකුට තවත් රුපියල් පහක් දී සතොසෙන් බිත්තරයක් ද මිලදී ගැනීමට මේ දිනවල ආණ්ඩුව අවස්ථාව සලසා දී තිබේ.

කොහොම වෙතත් චීනය අපේ රටේ තෙල් වෙළෙඳාමට බහින විට අපට තිබූ එකම වාසි සහගත බලාපොරොත්තුව වූයේ ආයේ තෙල් පෝලිමක් ආවොත් මොකක් හරි ගේමක් ගසා චීනය වැඩේ ගොඩ දමනු ඇති බවයි. එසේ නැතිව තෙල් ඇමැති කියූ පරිදි තරගකාරී මිල ගණන් යටතේ ලාබෙට තෙල් ටිකක් ගසා ගන්න හැකිවේ යැයි යන පවිටු සිතිවිල්ල නොවේ. ආසන්නම තෙල් මිළ වැඩි කිරීමට ද ප්‍රධානතම සහ එකම හේතුව වී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම බව අප හිතවත් දක්ෂ, තරුණ දකුණෙන් ආ තෙල් ඇමැති කියයි. ඇමරිකානු ඩොලර් 80 සිට 110 දක්වා මේ වන විට මාස කිහිපයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් වැඩි වී තිබේ. කොහොම වෙතත් අපේ රටේ මේ වන විට හිඟයකින් තොරව තෙල් ලබා දීමට සංස්ථාවට හැකියාව පවතින අතරතුර මෙම වැඩි වීම සිදුවී ඇත්තේ ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවත් ඉහළ ගියහොත් යන පදනමේ සිටය.

අපේ රටේ තෙල් මිල වැඩි කළ සැණින් පුද්ගලික බස් හිමියන් ප්‍රථමයෙන්ම බස් ගාස්තු වැඩි කිරීමට පෙළඹේ. ප්ලේන්ටියේ සිට සියලුම භාණ්ඩ සහ සේවා වල මිල ද ඒවා කරවන්නන් විසින් ඊට පසුදිනයේ සිටම ඉහළ දමා ගනී. තෙල් ඇමැතිටද ආණ්ඩුවටද අපටද ඇති එකම අස්වැසිල්ල ලෝක වෙළෙඳපොළ විසින් මෙම මිල වැඩි කර තිබීමය. එසේ නැතිව තෙල් මිල අපේ ආණ්ඩුව විසින් වැඩි කරන්නේ නැත. අනෙක තෙල් මිල වැඩි වීමෙන් වන පීඩාව ගැන හොඳින් දන්නා අපේ සත්ගුණවත් ආණ්ඩුවට ඒ පිළිබඳ ඇත්තේ අප්‍රමාණ බියක් සහ කනස්සල්ලකි. ජනතාව ගැන උදේ සිට රාත්‍රී වන තුරුත් රාත්‍රී සිට නැවත වරක් උදේ වනතුරුත් අනුලෝමව සහ ප්‍රතිලෝමව හිතන (මැතිවරණ කාලයකදී පමණක්) අපේ ආණ්ඩු මෙවැනි කාලයකදී මෙවැනි වැඩි කිරීමක් කෙසේවත් සිදු කරන්නේ නැත. මරි මෝඩ වැඩ කොට මුළු රටම බංකොලොත් කර ගත් ශ්‍රී ලංකා ජනතාවට අස්වැසුම නමැති අලුතින් ව්‍යාපෘතියක් සකස් කොට නව හුස්මක් දීමට හදන විටම ලෝක වෙළෙඳපොළ මැදිහත්ව කරන ලද මෙම අසාධාරණ, අයුක්තිසහගත වැඩි කිරීම මේ ආණ්ඩුව කෙසේ නම් විඳ දරා ගන්නේදැයි සිතා ගත නොහැකිය. එබැවින් අපි ලෝක වෙළෙඳපොළ වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉතා යටහත් පහත් ලෙස මේ මොහොතේ සමාව ඉල්ලා සිටින්නෙමු. ඒ අතරේ ඔළුව මැද්දට ටොක්කක් ඇනගෙන පියවි සිහියට එළඹ බැලූ කල ලෝක වෙළෙඳපොළ, අපේ වෙළෙඳපොළ සහ බඩු මිල වැඩිවීම එකකුස උපන් සහෝදරයන් වැනි යැයි සිතේ. ඔවුන් එකට එක් වූ කල අපේ ගමේ, රටේ මිනිහාගේ ඉහමොළ රත්වේ. රුධිර ගමනාගමනය වැඩි වී කොහෙන් හෝ ව්‍යසනයකින් මිනිස් ජීවිතයක් කෙළවර වන්නාහ. ඒ අතරේ ආණ්ඩුව කරවන ඇත්තන්ටද හෙණම ගහපං කියා ජනතාව දෙස් දෙවොල් තියයි. එසේ කළද ඒ ආකාරයට හෙණ වැදුනු කෙනෙක් නොමැති බැවින් ඊට වඩා අඩුවෙන් කුමක් හෝ ව්‍යසනයක් සිදුවූ අයෙක් සිටී දැයි සොයා බලන විට එවැනි දේශපාලනඥයෙක්ද සොයා ගැනීම අසීරුය.

ප්‍රශ්නය ඇත්තේම මේ බංකොලොත් ආර්ථක සුළඟේ ගසා යමින් හෙම්බත් වී සිටින ජනතාවටය. ඔවුන්ට ගොඩ ඒමක් ඇත්තේම නැත. අර බිල්, මේ බිල් ගෙවූ කල මාසය ගෙවාගන්න අමාරුය. ලෙව කා හෝ මාසය ගෙවාගතහොත් බිල් ගෙවා ගන්න බැරිය. මේ ආර්ථික පීඩනය මුළු මහත් ජාතියම අසරණ කර ඇත. මොකුත්ම කර කියා ගත නොහැකිව සිටින මේ ගත වන පැයේදීත් තෙල් මිල වැනි මුළු මහත් සාමාන්‍ය ජාතියටම (මහ ජනතාව භාවිත කරන සුපිරි ඩීසල් මිල වැඩි වී ඇත්තේ රුපියලකිනි) බලපාන පන්නයේ මිල වැඩි කිරීමකින් ඇතිවන අනෙකුත් ආර්ථික කඩතොලු වසා ගැනීම වෙනුවෙන් යම් සාර්ථක ක්‍රමයක් අත්හදා බැලීමට හෝ අදහසක් හෝ වගේ දෙයක්වත් නැතිව ඉබා ගාතේ යන මේ ගමන කොහෙන් කෙළවර වේදැයි අපි ද නොදනිමු. එය වූ කලී සාර්ථක ආරම්භයක් සැලසුම්සහගත අවසානයක් ඇති අරගලයක් ඇති නොකරන ගොඩින් බේරා ගැනීමේ උත්සාහයක් විය යුතු යැයි අපේ හැඟීමය.

advertistmentadvertistment
advertistmentadvertistment