අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ ජන්මානුස්මරණය වෙනුවෙන් ජාතික සිනමා කතිකාවක්

34

දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවී මෙහිලා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළ ස්වර්ගස්ථ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ 92 වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන දේශීය සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු‍ පාර්ශව එකම වේදිකාවකට කැඳවා සිදුකෙරෙන ජාතික සිනමා කතිකාව ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම මැයෙන් මෙම මස 31 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතන

ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු‍ කටයුතු සංවිධානය කොට ඇති බව ‘ගරු අර්නස්ට් පෝරුතොට පිය පදනම’ නිවේදනය කරයි.

පසුගියදා කොළඹ ‘සාමාජීය හා සාමයික කේන්ද්‍රයේදී’ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ‘ගරු අර්නස්ට් පෝරුතොට පිය පදනමේ’ සම සභාපති ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්තා පැවසුවේ සිනමාව පිළිබඳ මෙම ජාතික කතිකාවට චිත්‍රපට ක්ෂේත්‍රයේ නියුතු වූවන් සහභාගි වන අතර එහිදී ක්ෂේත්‍රය අද වන විට මුහුණ පා සිටින ගැටළුවලට විසඳුම් සාකච්ඡා කිරීමටද නියමිත බවයි.

පදනමේ සම සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් මෙම මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ අර්නස්ට් පෝරුතොට පියතුමා හැම විටම ඉතා ප්‍රගතිශීලී චරිතයක් වූ අතර සිනමා කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති අද වැනි දිනෙක එතුමා සිටියේ නම් සියලු‍ පාර්ශව කැඳවා ඒ සඳහා ඵලදායී විසඳුම් සෙවීමට නියත ලෙසම නායකත්වය ගන්නවා ඇති බවයි.

වත්මනේ මුළු රටේම යම් අර්බුදකාරී තත්ත්වයක් පැවතියද සිනමා කර්මාන්තය මුහුණපා ඇති වත්මන් ගැටළුකාරී තත්ත්වය පිළිබඳව කතිකාවක් ගොඩනැඟීමෙන් ඉවත්ව සිටිය නොහැකි බව මෙම මාධ්‍ය හමුව ඇමතූ පදනමේ උපදේශක මණ්ඩල සාමාජික සහ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගරු සිරිල් ගාමිණී පියතුමා පැවසුවේය.

කළුතර විශේෂ එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment