අවිද්‍යාවේ නූලෙන් නැටවෙන සංස්කාර රූකඩ

88

පිංවත කුමන අසනීපයකට බෙහෙත් තිබුණත් අනුවණ කමට නම් බෙහෙත් නැහැ. මොකද අනුවණකම කියන්නේ අසනීපයක් නොවන නිසා. පිංවත මෝඩකම, අනුවණකම කියන්නේ හේතුඵල ධර්මයක්. මෙතරම් දැනුමෙන්, බුද්ධියෙන්, දියුණු ලෝකයක අපි අනුවණකම් දැන දැනම සිදුකරන්නේ, අනුවණ විදියට හැසිරෙන්නේ, අනුවණ කතා කියන්නේ අපි මේ ජීවිතයේ දී හෝ පටිච්චසමුප්පන්න පෙර ජීවිතවලදී උතුම් සද්ධර්මය හාස්‍යයට ලක් කිරීම, ධර්මය අධර්මය කිරීම, විනය අවිනය කිරීම වැනි පාපකාරි ක්‍රියාවන් නිසාමයි. පිංවත උතුම් සද්ධර්මය හාස්‍යයට ලක් කරන්න එපා. උතුම් තෙරුවන්ට අගෞරව කරන්න එපා. ඔබ දැන දැනම තෙරුවන්ට අගෞරව කළොත් ඔබේ නුවණැතිභාවය මැරී ගිහිල්ල අන්ත මෝඩයින් ලෙස සමාජය ඉදිරියේ හැසිරීමට පෙළඹේවි. පිංවත අනුවණභාවය නිසා ම සමාජගතවෙන සෑම ප්‍රශ්නයක්ම අපි ප්‍රශ්න වැලැක් බවට පත්කොට ගන්නේ තෙරුවන්ට අගෞරව කිරීමේ අකුසල් විපාකයන් නිසාමයි. පිංවත අතීතයේ මහා සංඝරත්නයට සාංඝිකව පූජා කළ උතුරු, නැඟෙනහිර බෞද්ධ පූජනීය ස්ථාන, වර්තමානයේ පටු දේශපාලන හේතූන් මත අන්‍ය ආගමික අන්තවාදී පිංවතුන්ලාට පවරනවා යැයි කියන්නේ, සත්‍යවශයෙන්ම බරපතළ සාංඝික දේපළ සොරකමක්. පිංවත රාජ්‍යයේ භාරකරුවන් වන රාජ්‍ය නායක පිංවතුන් පවා සාංඝික දේපළ සොරකම් කිරීමට පෙළඹෙනවා නම්, හෙට දවසේ අපි ඉදිරියට පැමිණෙන විපාකයන් කිනම් වියරුවක් වේවිද.

පිංවත සියලු සොරකම්වල විපාකයන් ඉක්මවා යන සොරකම සාංඝික දේපළ සොරකමයි. සාංඝික දේපළ සොරකමේ විපාකයන්ට පුළුවන් ඔබේ ලෞකික ප්‍රඥාවේ කිරුළ උදුරාගෙන, අනුවණකමේ කිරුළ ඔබට පළන්දන්න. පිංවත මහා සංඝරත්නය තම පන්සලේ, ආරණ්‍යයේ, විදුලි බිල ගෙවද්දී, දුරකථන, වතුර බිල ගෙවද්දී, රාජ්‍ය භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා. වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනය මුල්කොටගෙන දිනකට රුපියල් කෝටි ගණනක වෙළෙඳ පොළක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. පිංවත් ඔබ සංඝ සමාජයට පූජා කිරීම උදෙසා අටපිරිකරක්, චීවරයක් හෝ සිව්පසයට අවශ්‍ය පූජාවක් මිලදී ගැනීමේ දී දිනකට මොනතරම් නම් ධනයක් පිංවත් ජනතාව නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙනවාද. පිංවත් යමෙක් සිල්වතුන්ගෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ධනය දූෂණයෙන්, වංචාවෙන්, සොරකම් කරයිද, පිංවත ඒවායේ අකුසල් විපාකයන් දෙවියන්ගේ හාල් කෑවා වගේම වෙනවා. පිංවත ධර්මය ඒහිපස්සිකයි, දෑස් විවෘතකොට සමාජය දෙස බලන්න. සත්‍යකින්ම දෙවියන්ගේ හාල් කැවුණ දේශපාලන ලෝකයක් නේද අපිට තිබෙන්නේ. පිංවත අපේ වංකකම්වලට කරන්නට පුළුවන් අපේම පිරිහීමට, විනාශයට, පාර කපාගැනීම පමණක්මයි. එහෙත් අකුසල් නිසාම නුවණ මැරුණ පිංවත් ඇත්තෝ, මේ ධර්මයේ ඇත්ත කෙසේ නම් දකින්න ද? පිංවත සාංඝික දේපළ සොරකමට අදාළ අකුසල්වලට පුළුවන් නුවණ මරා දමලා අනුවණකම රජ කරවන්න. පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ කාගේවත් වරදක් නොවේ, තවමත් ජීවමාන උතුම් සම්මා දිට්ඨියේ වටිනාකමයි. පිංවත අපි ජීවත්වෙන්නේ වරදක් හෝ වරදකරුවෙක් නැති පංචඋපාදානස්කන්ධ ලෝකයක. පිංවත අවිද්‍යාව මුල්වුණ තැන අවසානය දක්වාම තිබෙන්නේ හේතුඵල ධර්මයන් පමණක්මයි.

අවිද්‍යාවේ නූලෙන් නැටවෙන සංස්කාර රූකඩ

පිංවත කුසල් හෝ අකුසල් සංස්කාරයන්ගේ විපාකයන්ගෙන් බේරෙන්න අපිට බැහැ. සංස්කාර හේතුවෙන්ම සකස්වෙන මායාකාරී විඤ්ඤාණය අපිට පාර කියනවා. අපි සියල්ලෝම අවිද්‍යාවේ නූලෙන් නැටවෙන සංස්කාර රූකඩමයි. පිංවත සංස්කාර ඇස්බැන්දුමෙන් තිරිහන්වෙන විඤ්ඤාණයේ මායාවට තවදුරටත් ඇස් දෙන්න එපා. තමාගේම සම්මාදිට්ඨිය සිඟාකද්දී, තමාගේම මිත්‍යා දෘෂ්ටියට ප්‍රනීත භෝජන දෙන්න එපා. පිංවත බොරුව වැඩි සමාජයක තවදුරටත් ඔබ මැරි, මැරී ජීවත්වීම නොවේ කළයුත්තේ. ජීවිතයටත්, මරණයටත් වටිනාකමක් දීමයි ඔබ කළයුත්තේ. පිංවත අකුසලය විසින් ගිලගත්ත වර්තමාන සමාජය දිනන්න ක්‍රම දෙකක් තිබෙනවා. ඕනෑම වියරු සමාජයක් ඔබට මෛත්‍රී සංඥාවෙන් හෝ විදර්ශනා සංඥාවෙන් දිනන්න පුළුවන්. මෛත්‍රී සංඥාවෙන් දිනාගන්නා ලෝකය ලෞකික සැපයට මාර්ගය වෙනවා. විදර්ශනා සංඥාවෙන් දිනාගන්නා ලෝකය භව නිරෝධයට මාර්ගය වෙනවා. පිංවත සංස්කාර ඉන්ධනවලින් දුවන ලෝකය තුළ ජය සහ පරාජය ස්ථිර නැහැ. පරාජයමයි ජයග්‍රහණයක අවශ්‍යතාවය අපිට මතුකොට දෙන්නේ. නමුත් පරාජයන් ඉදිරියේ අපි නැවත නැවත බුරුතු පිටින් මතුකොටගන්නේ පෙරලා පරාජයන්ම නම්, පිංවත පරාජයන්ට හේතුවෙන අපේම වඳබැහැපු තෘෂ්ණාවන්ට විරේක බෙහෙත් දෙන්නම් වෙනවා. පිංවත අකුසලයෙන් ගිනිගන්න මේ මොහොත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් අර්ථයන් අට එකට හිඳ පෙරා වළඳන්න තරම්, සතිය අපේ ශක්තිමත් නැතිනම්, අපි දක්ෂ වියයුතුයි. සමාජගත සත්‍යයටත්, බොරුවටත් යන දෙකටම සුවපත් වේවා යැයි මෙත් සිතින්ම යහපතේ ආරම්භයට මුල්ගල තියන්න.

පිංවත ජය සහ පරාජය යන අර්ථයන් දෙකම මාරයාගේ එකම කාසියේ දෙපැත්තයි. පිංවත අපි ලබන ජයග්‍රහණයක්මයි කවදා හෝ දවසක පරාජයක් බවට පත්වෙන්නේ. භික්ෂුව මේ සටහනේ ලිව්වොත් භික්ෂුව මේ සටහන් ලියන්නේ සිංහල බෞද්ධ ජනතාවට පමණක්මයි කියලා. පිංවත් අන්‍ය ආගමික පිංවතුන්ලා භික්ෂුව සමග ගැටෙන සිත් ඇතිකොට ගනීවි. එයම පරාජයකට හේතුවේවි. පිංවත බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියලු ලෝක සත්වයින්ට මෙත් සිතින්මයි. ජාති, ආගම්, කුල මල භේද සද්ධර්මයේ අර්ථයන් ඉදිරියේ වාෂ්පවෙලා යන්න ඕනේ. පිංවත සමගියෙන් පරිත්‍යාගයෙන් අත්වැල් බැඳගෙන දිනාගත යුතු ලෞකික ලෝකයක්, ජයග්‍රහණයන් ඉදිරියේදිත් පරාජයක් බවටම පත්කොට ගන්නේ අපේම මෝඩකමේ, අනුවණකමේ මහත නිසාමයි. පිංවත සමාජය භේදභින්න කළේ, සමාජය විනාශ කළේ, පිංවත් ජනතාව විසින් නොවේ තෘෂ්ණාධික අධර්මිෂට දේශපාලනය විසින්මයි. පිංවත සමස්ත ජනතාවම අපි අපිට වෛර කළ යුතු නැහැ. අපි ඉදිරියේ ජාති, ආගම්, භේද අවුස්සා අපිව භේදකළ අධර්මිෂ්ට දේශපාලනයට වෛර කළ යුතුත් නැහැ. පිංවත සත්‍යයේ නාමයෙන් සමාජගතවෙන බොරුවට ඔබ සත්‍යයෙන්ම පිළිතුරු දෙන්න. ජාති, ආගම් භේදයන් ගෙන් තොරව ඔබ දකින සැබෑ සත්‍යය නම්, දුකට හේතුව අසීමිත තෘෂ්ණාවයි. පිංවත ඔබත් සමාජය නිවැරදි කිරීමට උත්සහ කරන්නෙක් නම් කරුණාකර, තෘෂ්ණාවට ඔබව පාලනය කරන්න දෙන්න එපා. තෘෂ්ණාව ඔබේ පාලනයට ගන්න. පංචඋපාදානස්කන්ධය කෙරෙහි බැඳීගිය පිංවතුන්ලාට තෘෂ්ණාව තේරුම් ගන්න බැහැ. ඔවුන් දුක නිවා දමන්න යන්නෙත් තෘෂ්ණාවේ කිහිලිකරු භාවිතයෙන්මයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට අවවාද කරනවා, සමාජගත වෙන තෘෂ්ණාවන් සමග අතේ දුරින් ජීවත්වෙන්න කියලා. අනුනගේ තෘෂ්ණාව ඉදිරියේ ප්‍රාතිමෝක්ෂ ශීලයේ වැට ශක්තිමත්කොට ගන්නය කියලා. යම් පිංවතෙක් උතුම් සෝවාන්ඵල අවබෝධය ලබන තෙක්ම ඒකපාක්ෂික අවිද්‍යාවේම රූකඩයක් වෙනවා. පිංවත රුදුරු තෘෂ්ණාව ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ අංක “එක” තමාගේ ආරක්ෂාවයි. ශ්‍රාවකයා ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් තමන් ආරක්ෂා වුණොත් පමණක්මයි, තමනුත් උතුම් ශාසනයත්, ආරක්ෂා කළා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, අධිවේගී තෘෂ්ණාවේ වාහනවල හැපුනත්, නොසෙල්වෙන කළු ගලක්ම වියයුතුයි. මෙය සටහන් තබන භික්ෂුව සමීපයේත් තෘෂ්ණාවේ බර වාහන ඕනෑ තරම් දුවනවා. භික්ෂුව මේ විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයන් දෙස තවමත් ධර්මයේ උපේක්ෂාවෙන් දකින්නේ, පිංවත් ජනතාවට සද්ධර්මය දායාදකොට දීම උදෙසා පමණක්මයි. භික්ෂුව මේ සටහන් තබන ලිපි පෙළත් භික්ෂුවගේ සාමීචිපටිපන්න ගුණයේම අර්ථයන් වෙනවා. පිංවත වසර පහළොවක් පුරාවට භික්ෂුවගේ නිදහසට හෝ අයිතීන්ට, එකම සිතුවිල්ලකින් හෝ බාධාවක් නොකොට, “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” ලිපි පෙළ සමාජගත කළ, දිවයින ඉරිදා සංග්‍රහයට චිරාත් කාලයක් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබේවා කියලා මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරනවා. පිංවත් සත්පුරුෂ පාඨක ඔබටත්, ලිපි පෙළේ හොඳ හෝ නරක දැක්ක පිංවතුන් සියලුම දෙනාටත්, මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරනවා.

පිංවත තෘෂ්ණාව හරිම මායාවක්. තෘෂ්ණාවට සැඟවිලා ජාති, ජරා, ව්‍යාධි, මරණ හත්මුතු පරම්පරාවක්ම තිබෙනවා. ඔබේම පටිච්චසමුප්පන්න කුසල් සහ අකුසල් සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම් නිසාම තෘෂ්ණාව නිරතුරුවම පීලි පනිනවා. ඒ කියන්නේ දුක සහ සැප මාරු වෙනවා. පිංවත සම්මුති ලෝකය කියන්නේ දුඛ්‍ය සත්‍යයේම පැතිකඩක්. සංස්කාර විවිධත්වයේ සංකීර්ණ ඇස්බැන්දුමක්. ජරා, ව්‍යාධි, මරණ, දුකට සුවඳ දුම් අල්ලන දෙවොලක්.

පිංවත සම්මුති ලෝකයෙන් ඔබේ ලෝකය වෙන්කොට ගන්න. විවේකී මනසින් ඔබේ ඵස්සය විදර්ශනාවෙන් නිර්වින්දනය කොටගන්න. දැක්කා කියන තැන නවතින්න. ඇසුණා, දැනුණා කියන තැන නවතින්න. විදර්ශනා නිර්වින්දනයෙන් ඵස්සයේ තෘෂ්ණාවට සිහිය නැතිවෙද්දී, ඔබ නවතින්නේ ඔබේම නාමරූප ලෝකය තුළයි. දැන් ඔබට පහසුයි ඔබේ ලෝකය විනිවිද දකින්න. ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, මේ ක්‍රියාන්විතයට මැදි වූ අවිද්‍යාවෙන් උපන් සලායතනයෝ. පිංවත සරළ ලෝකයක නිසල දහම. ගිනිගත් ලෝකයක නිවුණු උපාදානයෝ. පිංවත ලෝකය මොනතරම් නම් ලස්සන ද, සරල ද. ඒ සරලභාවය තිබුණේ ලෝකය තුළ නොව ලෝකය නිවීයන ඔබේ ඵස්සය තුළයි.

පිංවත ලෝකයට වඩා ලෝකයේ නිරෝධය හරිම නිදහස් වෙන්න ඕනේ. එතැන ඉරත්, සඳත්, වලාකුළු, තාරකාත් තිබෙනවා. උදේට එළිය වැටෙනවා. රාත්‍රියට අඳුර එනවා. පෙම්වතුන් සහ පෙම්වතියන් සිටිනවා. ලෝකයා ආදරය කරනවා. හැබැයි ඔබේ ඵස්සයේ තෘෂ්ණාව අවිද්‍යාවත් සමගම නිවී ගිහිල්ලා. පිංවත එවිට ඔබ සම්මුති ලෝකය තුළ අසම්මත චරිතයක් වෙනවා.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment