අශාන්ගේ ශතකයෙන් දඹුල්ලට හොඳ අත්තිවාරමක්

101

ජාතික සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතිය නිමිත්තෙන් ඊයේ (16 වැනිදා) ආරම්භ වූ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයේ දී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට අශාන් ප්‍රියංජන් සමත් වූයේය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායමේ නායක කළ ආරාධනාව මත පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම ඒ අනුව දිනය නිමා වන විට පන්දු වාර 90ක් තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 297ක් රැස්කරගෙන සිටියේය.

පන්දු 167කදී නොදැවුණු ශතකයක් වාර්තා කළ අශාන් ප්‍රියංජන්ගේ පිත්තෙන් එල්ල වී තිබුණේ හතරේ පහර හතක් පමණි.

ඊයේ දිනයට තරගය නිමා වන විට අශාන් සමග නොදැවී පන්දුවට පහරදෙමින් සිටි චමිදු විජේසිංහ රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 27 කි.

දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 48ක් තුළ දැවී ගිය අතර 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සම්බන්ධතාවයක් සනෝජ් දර්ශික සහ නායක මිනෝද් භානුක අතර වාර්තා වුණි.

සනෝජ් ලකුණු 43කට දැවී යෑමෙන් පසුව අංක 06 පිතිකරු ලෙස පිටියට පැමිණි අශාන් ප්‍රියන්ජන් දඹුල්ල ඉනිම ගොඩනැගීමට ක්‍රියා කළේය. නායක මිනෝද් භානුක ද තම කණ්ඩායම වෙනුවෙන් වගකීම් සහගත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 123කදී ලකුණු 73ක් ලබා ගත්තේය.

මිනෝද් භානුකගේ ඉනිමට හතරේ පහර 11ක් අන්තර්ගත විණි.

මිනෝද්ගේ දැවී යෑමෙන් පසුව චමිඳු විජේසිංහ සමග එකතු වූ අශාන් ප්‍රියංජන් දිනයේ ඉහළම ලකුණු සම්බන්ධතාවය වාර්තා කරමින් 7 වැනි කඩුල්ල සඳහා අඛණ්ඩ ලකුණු 90ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වූහ.

පන්දු යැවීමේදී කොළඹ කණ්ඩායමේ හිමේෂ් රත්නායක කඩුලු 3ක් දවා ගත්තේය. නුවන් ප්‍රදීප් කඩුලු දෙකක් ද තරිඳු රත්නායක එක් කඩුල්ලක් ද දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment