බිල නගී: කැපිල්ල නවත්වන්න ජනපති උපදෙස් දෙයි

268

විදුලි ගාස්තුව සියයට හැටහයකින් ඉහළ දැමීමේ තීරණය ඊයේ (16දා) සිට ක්‍රියාත්මක කිරීමට සමගාමීව මුළු රටටම අඛණ්ඩව විදුලිය ලබාදීමත් ඊයේ සිටම ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

මේ අනුව දිනකට කපාදැමූ පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව ඊයේ (16 දා) සිට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට ලංවිම හා විදුලිබල අමාත්‍යාංශය තීරණය කර ඇත.

විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අවසරදීමත් සමග දෛනික විදුලි කප්පාදුව නතර කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගත් බවද ඇමැතිවරයා කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඊයේ (16 දා) සඳහන් කළේය.

ඒ අනුව 16 වැනිදා සිට මුළු රටේම ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීමට බලාගාරවලට අවශ්‍ය ගල්අඟුරු, ඩීසල්, නැප්තා, දැවිතෙල් ආදිය මිලදී ගැනීමට මහජන බැංකුව රුපියල් බිලියන 50 (කෝටි 5000) ක්, ලංකා බැංකුව රුපියල් බිලියන 22ක් (කෝටි 2200)ක්, ලබාදීමට මූලික එකඟතාවකට පැමිණ ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙවර විදුලි ගාස්තු ඉහළ දමනු ලැබුවේ විදුලිබල මණ්ඩලය පසුගිය කාලයේ දී ලබා තිබෙන පාඩුව පියවා ගැනීමට නොව රටට අඛණ්ඩව විදුලිබලය ලබාදීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට බවද ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

විදුලිබල මණ්ඩලය ඉකුත් කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් ණය සඳහා පමණක් රුපියල් බිලියන 10 ක් (කෝටි 100) පොලී ලෙස ගෙවා දැමීමට සිදුව තිබෙන බවද විජේසේකර මහතා සඳහන් කළේය. අත්පිට මුදලට ගල්අඟුරු හා බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොතිබූ නිසා බැංකු වලින් ණය ලබා ගැනීමට සිදුවූ බවද ඒ මහතා කීය.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලිය නිපදවා ගැනීම අරමුණ බවත් ඉකුත් කාලයේ දී ජල විදුලි බලාගාර හා අනෙකුත් පාර්ශව සඳහා රුපියල් බිලින 40 ක (කෝටි 400) ක මුදලක් ගෙවාගත නොහැකිව තිබූ බවත් ඇමැතිවරයා කීය. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කරමින් රටටම අඛණ්ඩව විදුලිය ලබාදීමට වගකීමෙන් කටයුතු කරන බවද ඇමැති කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment