ආණ්ඩුවේ කටයුතු අවුල්කිරීම විශ්වාසභංග යෝජනාවේ අරමුණයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

34

ඔන්ලයින් පනතේ සංශෝධන පැහැර හැරීමෙන් කථානායක ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කලා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

විශ්වාසභංගයක් නොව ස්තුතිය පළකිරීමේ යෝජනාවක් ගෙන ආ යුතුයි – නිමල් ලංසා (ශ්‍රීලපොපෙ)

තවදුරටත් දේශපාලන ගේම් ගහන්න මේ රටේ ඉඩක් නෑ – පාඨලී චම්පික රණවක (සජබ)

හැටනව ලක්‍ෂයක් ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයකු ජනපති කිරීමෙන් ජනතා විශ්වාසය තවත් බිඳ වැටුණා – නාලක ගොඩහේවා (ශ්‍රීලපොපෙ)

කථානායකවරයාට එරෙහිව විපක්‍ෂයේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමට ගෙන ආ එකක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ තෙවැනි දින විවාදයට එක් වෙමින් අගමැතිවරයා මේ බව කීය. විවාදය ආරම්භ කරමින් කතා කළ,

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

මේ කථානායකවරයාට පාර්ලිමේන්තුව තුළ ඡන්දය දෙන ආකාරය ගැන කිසිදු අවබෝධයක් නැහැ. එක්කෝ අවබෝධයක් නැහැ, එහෙම නැත්නම් හිතාමතාම විධායකය එක්ක මේ ව්‍යවස්ථාදායකයේ බලය පළුදු කරන්න කටයුතු කරන කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු වෙලා තිබෙනවා.

විධායකය, ව්‍යවස්ථාදායක, අධිකරණය යන මේ ක්‍රියාත්මක වැඩසටහන ගැන හිතාමතාව අර සංවරණ සහ තුලන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා විධායකය අතට තනි බලය ලබාදෙන කුමන්ත්‍රණයක කථානායකවරයා හවුල්කරුවකු ලෙස අද කටයුතු කරනවා. මේ දෙකෙන් එකක්. කථානායකවරයා හෙඩ් ෆෝන් දාගෙන එක දිසාවයි බලන්නේ. තමන්ගේ දකුණු පැත්ත. ඒක වැරදියි. ක්‍රිකට් පිළිබඳ විවාදයේදී ඡන්දයක් ඉල්ලූ අවස්ථාවේදී කථානායකවරයා කළේ බෙදීමක්. ඉල්ලුවාම ඒක දුන්නේ නැහැ. අයිතිය කප්පාදු කළා. 225ම එකට හිටගෙන ඉන්න ඕන වෙලාවක්. 224ම ඡන්දය ලබා දුන්නා නම් බලවත් පණිවිඩයක් යනවා රටටම. ඒක පැහැර හැරියා. මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත් විවාදයේදී නව සංශෝධන 4ක් ගෙන ආ යුතු බවට අධිකරණ ඇමතිම පිළිගෙන තිබෙනවා. ඒ අණපනත් අනුමත වීමේදී ක්‍රියාවලියේදී කථානායකවරයා හිතාමතාම ඒ සංශෝධන පැහැර හැරියා. ඒක ක්‍රියාත්මක කළේ නැහැ. අපි ඇහුවම හැමදේම හරි කිව්වා. මංමුලා කළා.

රංජන් රාමනායක මැතිතුමාට සාධාරණ අවස්ථාව දුන්නේ නැහැ. තවත් අවස්ථා ගණනාවකදී මේ කථානායකවරයා ඉතාමත්ම නිර්ලජ්ජිත ආකාරයට ස්ථාවර නියෝග ආදිය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මේ වගේ කටයුතු කිරීම ගැන ඇත්ත වශයෙන්ම ලැජ්ජා විය යුතුයි. ඒ නිසා අවසානයේ මා පුදුම වෙන්නේ නැහැ මේ සභාව ඡන්දය දෙයිද කියන එක ගැන. විපක්ෂය අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. වෙන මොන කතාද ඉතින්. 113ක් හිටියනේ කෙහෙළියටත් අත උස්සපු. අද හවස මොන වගේ ඡන්ද තීන්දුවක් එයිද නැද්ද කියන එක අපිට කියන්න බැහැ. ඖෂධ වංචාවට පක්ෂව ඖෂධ හොරකම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඒ හොර මගඩි වෙනුවෙන් හිටගත් 113ක් ඉන්න මේ සභාවේ අනීතිකව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ කථානායකවරයා රකින්න බහුතරයක් නැගිට්ටොත් පුදුම වෙන්නේ නැහැ. එක දෙයක් කියන්නම්. පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදාළ ප්‍රතිපාදන අනුගමනය කරන්නේ නැතිව අනීතිකව කටයුතු කිරීමේ වරදට සියයට ලක්ෂවාරයක් කථානායකවරයා වගකිවයුතුයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා :

17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට ව්‍යවස්ථාදායක සභාවක් පවතිනවා හැම සංශෝධනයකදීම මේ ව්‍යවස්ථාදායක සභාවක් ඇති කරා. ඒ අභ්‍යන්තරයේ කටයුතු පාර්ලිමේන්තුවේ විවාදයකට ලක් කර නෑ මොන මතභේද තිබුණත්. මේ විරුද්ධ පක්ෂය ඉතාම විශ්වාසයක් නෑ කියලා කතානායකතුමාට කියමින්, තමන්ගේ අවිශ්වාසය ප්‍රදර්ශනය කර තිබෙනවා.

කලින් තිබුණ ව්‍යවස්ථාදායක සභාවලත් අභ්‍යන්තරයේ මතභේද තිබිලා තියෙනවා. අභ්‍යන්තර ඡන්ද විමසීම් තිබිලා තියෙනවා. ඒ මන්ත්‍රීවරු අද ඒ සභාවල්වල නැති වුනත් අද දක්වා ඒ සාකච්ඡාවල් ප්‍රසිද්ධියට පත්කර නෑ. ඉතින් මෙහෙම විපක්ෂයක අරමුණ මොකද්ද එහෙනම්. ඔබතුමාලට ඕන වුණා පොලිස්පතිගේ පත්වීම නවත්වන්න.

ඒ තුළින් ආණ්ඩුවේ කටයුතු අවුලකට පත්කරන්න කඩාකප්පල් කිරීම තමයි විරුද්ධ පක්ෂය මේ කාලසීමාව තුළ කරන එකම කටයුත්ත. අනිත් පැත්තෙන් රට වැටී තිබුණු ආරාජික තත්ත්වයෙන් ගොඩගෙන නීතිය හා සාමය පිහිටවලා ආර්ථිකය යළි හිස ඔසවමින් වර්ධනයකට පරිවර්තනය කරලා තිබෙන මේ ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමේ එකම උත්සාහය තමයි මේ විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන්නේ. මෙවැනි දෙයක් පාවිච්චි කළ යුත්තේ ඊට වඩා උත්තරීතර කාරණා පදනම් කරගෙනයි.

මේකෙන් ගොඩ එන විශ්වාසය රට වැසියා ද ලබමින් සිටින වෙලාවේ අමාරුකම් තියෙනවා. ඒ අමාරුකම අඩු කරමින් අපි ඉදිරියට යන වෙලාවේ මෙවැනි අසත්‍ය මුල් කරගත් සත්‍ය සම්පූර්ණයෙන් වසන් කොට ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම අද දිනයේ සිදු කිරීමයි අපේ පාර්ලිමේන්තුවෙත්, අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායටත්, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයටත් ඉටු කළ හැකි කාර්යය වන්නේ.

විදේශ ඇමැති අලි සබ්‍රි :

නීති හදන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මාර්ගගත පනතට සංශෝධන අධිකරණය දුන්නා. ඒවා කමිටු අවස්ථාවේ දී පනතට ඇතුල් කර තියෙනවා. එහිදී නීතිපතිගෙන් කථානායක උපදෙස් අරන් තියෙනවා. නීතිපති ලිඛිතව දැනුම් දී තියෙනවා අධිකරණයේ සියලු සංශෝධන පනතට ඇතුළත් කියලා. එහෙනම් කථානායකට කියන්න බෑ සංශෝධන ඇතුළත් නෑ කියලා. නීතිපති උපදෙස් මත ඔහු ක්‍රියාකර තියෙනවා. නීතිපති උපදෙස් වැරැදියි කියලා කියන්න බෑ. කථානායකවරයා තමන්ගේ කාර්ය ඉෂ්ට කර තියෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රීලපොපෙ) :

කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම කනගාටුදායක තත්ත්වයක්. කථානායකගේ විශ්වාසය භංග වීම දැඩි කණගාටුදායක තත්ත්වයක්. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහිම ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා.

විශ්වාසය බිඳ වැටීම නිසා ජනාධිපතිවරයකුට ගෙදර යෑමටත් සිදුවුණා. එහිදී ජනවරම ලැබුණු ආණ්ඩුව ඊට පෙර හැටනව ලක්‍ෂයක් ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයකුව ජනපති බවට පත් කළා. එහිදී ජනතා විශ්වාසය තවත් බිඳ වැටුණා.

මේ ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණන්න ගේන යෝජනාවලටත් අත උස්සනවා. රාජ්‍ය විරෝධි යෝජනාවලටත් පාර්ලිමේන්තුව අත ඉස්සුවා. ජනතා විශ්වාසය තවත් බිඳ වැටුණා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර :

කථානායකවරයා වැඩිපුරම කතා කරන්න ඉඩ දුන්නේ විපක්‍ෂ නායකවරයාට හා විපක්‍ෂයටයි. හැමදාම විපක්‍ෂ නායක කතා කළා. මගේ ඉතිහාසයේ කවදාවත් මේ වගේ කතා අහන්න ලැබුණේ නෑ. විපක්‍ෂයේ අයත් ඒකට චෝදනා නගනවා.

මීට පසුව පාර්ලිමේන්තුවක් විදියට සම්ප්‍රදාය රකිමින් පවත්වාගෙන යමු. අනවශ්‍ය විදියට කතා කරන්න ඉඩදිය යුතු නෑ. දැන්වත් පාර්ලිමේන්තුව නිවැරදි විය යුතුයි. මධ්‍යස්ථව හැමෝටම කතා කරන්න ඉඩ දිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ) :

මාර්ගගත පනත සම්බන්ධයෙන් කථානායකවරයා නිවැරදිව කටයුතු කර තිබෙනවා. නිවැරදිව එය කියවා බැලිය යුතුයි. කථානායකවරයා නිතරම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවා උපදෙස් ලබා ගන්නවා. මේ පනතේ ඔවුන් හොඳින් අධ්‍යයනය කර ඒ අනුවයි සකස් කර ඇත්තේ.

මේ කථානායකවරයා අතීතයේ සිටම දේශහිතෛෂිව කටයුතු කර තිබෙනවා. කෘෂිකර්ම ඇමැතිව සිටියදී රට සහලින් ස්වයංපෝෂිත කළා. ඔහුගේ දේශපාලන ජීවිතයේ දූෂිත වැඩ කරලා නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා (ශ්‍රීලපොපෙ) :

ව්‍යවස්ථාදායක සභාවේදී කථානායකවරයා සෘජුව ක්‍රියා කළ නිසා රට අකර්මන්‍ය නොවී පවත්වාගෙන යෑමට හැකි වුණා. ඒ නිසා විශ්වාසභංගයක් නොව ස්තුතිය පළකිරීමේ යෝජනාවක් ගෙන ආ යුතුයි. විපක්‍ෂයේ පිරිස් විවිධ උපක්‍රම යොදලා ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. බොරු බිල්ලන් මවනවා. හර්තාල් කරනවා ඉවරයක් නෑ. ව්‍යවස්ථා සභාව තියෙන්නේ තීන්දුවක් දෙන්න නිහඬව ඉන්න බෑ. ව්‍යවස්ථාදායක සභාවේ තමන්ගේ ඉත්තෝ භාවිතා කරලා ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්න විපක්‍ෂය දැන් උත්සාහ කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් (සජබ) :

සමහරු ආණ්ඩු පක්‍ෂයේ හිදිමින් කළ යුතු කතා විපක්‍ෂයේ සිට කතා කරනවා. ඒ මගින්ම පාර්ලිමේන්තුවේ විකෘතිය පේනවා. පාර්ලිමේන්තුවේ තියෙන්නේ ලක්‍ෂ 220කගේ බලය. ඒ නිසා උත්තරීතර විය යුතුයි. එය මෙහෙයවන පුද්ගලයා දැඩි විශ්වාසයකින් යුතු අයෙක් විය යුතුයි. අද ඔහුගේ විශ්වාසය බිඳ වැටිලා.

කථානායකවරයා වැඩි බරක් තියෙන්නේ ආණ්ඩුව පැත්තටයි. ඒ පැත්තට හැරුණු ගමන් ඔහු ඉන්නේ. චමල් රාජපක්ෂ මහතා කථානායක වී සිටියදී හෝ මේ තරම් ආණ්ඩුවට පක්ෂ වුණේ නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර (ශ්‍රීලපොපෙ) : මේ කථානායකවරයා ඉතාම පක්‍ෂාපාතීවයි ක්‍රියා කළේ. ඔන්ලයින් පනත ගෙනල්ලා දැන් නැවතත් ඊට සංශෝධන රැසක් ගේන්න තියෙනවාලු. මෙහෙම පනත් ගේන්න ගියහම නීතියත් හෑල්ලු වෙනවා.

පත් කළ මන්ත්‍රී වජිර අබේවර්ධන (එජාප) :

සභාවේ ඉන්න බහුතර මහජන නියෝජිතයන් ස්ථාවර නියෝග අනුව නොවෙයි ක්‍රියා කරන්නේ. විටින් විට නැගිට කතාවට අවස්ථාව ඉල්ලනවා. කථානායකවරයා උපරිම ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කරලා තමයි අද මේ අභියෝගයට මුහුණ දීලා ඉන්නේ. අතීතයේ හිටපු කථානායකවරුන්ට වඩා මේ කථානායකයා නැගිටින හැම කෙනාටම කතා කරන්න ඉඩ දෙනවා. ඒ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ගෙනත් තියෙන විශ්වාසභංගයේ එක් කරුණක්වත් එප්පු කරගන්න විපක්‍ෂයට බැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ) :

මේ රටේ ඡන්දය දීපු ජනතාව ජනාධිපතිවරයා අගමැතිවරයා පළවා හැරියා. කථානායකවරයා දැනගත යුතුයි තමන් කටයුතු කළ යුතු ආකාරය ගැන. පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ ඉතා අසීරුවෙන්. හැමෝම දන්නවා ජනවරමක් දැන් අවශ්‍ය බව. මේ අයට ජනවරමක් නෑ. තවදුරටත් දේශපාලන ගේම් ගහන්න මේ රටේ ඉඩක් නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ :

කථානායක භූමිකාව පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාප තුළින් පැහැදිලි වෙනවා. කථානායකවරයා ඔහුගේ භූමිකාව නිවැරදිව ඉටුකරනවා කියලා හිතන්න බෑ. අනුර බණ්ඩාරනායක මහතා කථානායක තනතුර බබලවන්න ක්‍රියා කළා.

ආණ්ඩු පක්‍ෂයේ බලපෑම, විධානයට යටත්ව කටයුතු කරන අයෙක් බවට කථානායක පත් වුණා. විශ්වාශභංගය වැඩි ඡන්දයෙන් පැරද්දුවත් ඔහු පරාදයි. විශ්වාසභංගයක් ගේන්න සිදුවීමම ඔහුගේ අඩුපාඩු සිදුවීම පෙන්වන කාරණයක්. විජමු, අනුර, කරු ඇතුළු අයට විශ්වාසභංග ආවේ නෑ.

පාර්ලිමේන්තුව අද පෙ. ව. 9.30ට රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment