ආණ්ඩුව කිව්වෙත් නෑ! කවුරුවත් දන්නෙත් නෑ!

312

අන්තිමේදී ඇත්තම කතාව එළියට

දේශීය ණය ප්‍රශස්තකරණ සැලසුම එළි දකී

බැංකු පද්ධතියට හෝ බැංකු තැන්පත්වලට බලපෑමක් නෑ

පසුගිය දිනවල දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ බොහෝ කතාබහ ඇති විය. දේශපාලන වේදිකාවේමේ ගැන ප්‍රකාශ වූ අදහස් ද අපට අසන්නට ලැබිණි. ඇතැමුන් මේ සමබන්ධයෙන් විශාල බිල්ලෙක් මැවීමට උත්සාහ කළ බව ද රහසක් නොවේ. කිසිම බලපෑමක් නොවී මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ නොහැකි බව ද අප තේරුම්ගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගනිමින් එම අරමුදල සමග එකඟ වී ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අනුව මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද සිදුකළ යුතුම දෙයකි. ප්‍රශ්නය තිබුණේ මෙය සිදු කරන්නේ කවර ආකාරයෙන් ද යන්නයි. ඒ තුළ බැංකුවලට, බැංකු තැන්පත්කරුවන්ට එසේම සේවක අර්ථසාධක අරමුදලට කවර බලපෑමක් සිදුවෙනු ඇති ද යන්නයි. මේ වන විට මෙම අවිනිශ්චිතතා දුරු කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව මහ බැංකුව විසින් රජයට ඉදිරිපත් කර ඇත. දැන් මේ සම්බන්ධයෙන් ද තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව භාවිත කරන වචනය දේශීය ණය ප්‍රශස්තකරණය යන්නයි. එනම් වඩාත්ම ප්‍රශස්ත (හොඳම) ආකාරයට සහ අහිතකර බලපෑම් අවම වන පරිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා මහ බැංකුව වෙනත් පාර්ශ්වයන්ගේ සහාය හා උපදෙස් ද ඇතුව ඉදිරිපත් කර ඇති ප්‍රශස්තම සැලසුම මෙයයි.

මේ අනුව මහ බැංකුව ඉදිරිපත් කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකි. මහ බැංකුව හඳුන්වා දෙන පරිදි මෙමගින් දේශීය ණය ප්‍රශස්තකරණය සිදු කරන්නේ කෙසේ ද යන්න මේ වන විට රටට හෙළිදරව් වී ඇත. ඒ සඳහා අදාළ යෝජනාව පිළිබඳ පැහැදිලි කිරීමක් මේ වනවිට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. මේ අනුව මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වී ඇත. ඉන් පසු එය මුදල් කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම රජයේ සැලසුම වී ඇත. මෙසේ දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා වන යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසු අනිද්දා (04) ඒ සඳහා වන අදාළ බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය සිදු කිරීම ආරම්භ කිරීම සිදු කිරීමට නියමිතව ඇත. මේ ක්‍රියාවලිය බාධාවකින් තොරව සිදු කිරීමේ පහසුව සලසා ගැනීම පිණිස ඉකුත් ජුනි 30 වැනිදා ද බැංකු නිවාඩු දිනයක් බවට පත්කර එසේම කොටස් වෙළෙඳපොළට ද නිවාඩු ලබා දී දින කිහිපයක් වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇතිකර, වෙළෙඳපොළ තුළ ඇති විය හැකිව තිබෙන අවිනිශ්චිත තත්ත්වයන් වළක්වා ගැනීමට ද මහ බැංකුව සහ රජය පියවර ගෙන ඇත. එසේම මේ දේශීය ණය ප්‍රශස්තකරණය සිදු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මාධ්‍ය හරහා මහජනයා වෙත පැහැදිලි කිරීමට ද රජයේ ආර්ථික බලධාරීන් ක්‍රියා කර ඇත. එහි ආරම්භක පියවර ලෙස ඉකුත් ජුනි 29 වැනිදා උදේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී මේ සමබන්ධයෙන් කරුණු පැහැදිලිකර මේ ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම ද සිදු කළේය.

මේ තුළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය පිළිබඳ පැතිර ගිය සැකසංකා මේ වන විට බොහෝ දුරට සමනය වී මේ හේතුවෙන් සාමාන්‍ය මහජනතාවට එතරම් සැලකිය යුතු බලපෑමක් නොවන බවට වන විශ්වාසය ජනයා තුළ තහවුරු වී ඇත. මේ පසුබිම තුළ අප මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මහ බැංකුව රජයට යෝජනා කර ඇති මේ කියන දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව කුමක් ද යන්නයි. පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් බොහෝ කතාබහ සිදුවූයේ බැංකු තැන්පත්වලට යම් අවදානමක් ඇතිවනු ඇති ද සහ එසේම අර්ථසාධක අරමුදලේ ශේෂයට යම් බලපෑමක් ඇතිවනු ඇති ද යන්න ගැනයි. මේ ගැන ප්‍රධාන වශයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා විසින් සිදුකළ පැහැදිලි කිරීම් හමුවේ වන විට එම සැකසංකා දුරු වී ඇත. ඒ අනුව රටේ සමස්ත බැංකු පද්ධතියේ ගිණුම් මිලියන 57 ක රු. ට්‍රිලියන 15 ක මුළු තැන්පතු වටිනාකමක් තිබේ. මේ කිසිම ගිණුම් හිමියකුගේ කිසිම තැන්පතුවකට කිසිදු බලපෑමක් නොවේ. හේතුව නම් මූලික වශයෙන්ම බැංකු පද්ධතිය අතහැර මේ දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සකස් කර තිබීමයි. මේ නිසා මහජන මුදල් තැන්පතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් තැන්පත්කරුවන් කිසිදු කලබලයක් වීමට අවශ්‍යතාවක් නැත.

එසේ නම් ප්‍රශස්තකරණයට ලක්වෙන දේශීය ණය මොනවා ද? ප්‍රධාන වශයෙන් දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කරවලට පරිවර්තනය කිරීම සිදු කරනු ලබයි. දේශීය ණය වශයෙන් ප්‍රධාන වශයෙන් ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වේ. භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම දැනට රු. ට්‍රිලියන 4.1 ක් තිබෙන අතර ඉන් සියයට 62.4 ක්ම ඇත්තේ මහ බැංකුව සතුවයි. දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව අනුව මෙම භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කිරීමට තීරණය වී තිබේ. ඉන් පසුව සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් මගින් රජයට ලබා දී ඇති ණය මුදල් ද ප්‍රශස්තකරණයට ලක් කිරීමට යෝජනා කර ඇත. මේ යෝජනාව පැහැදිලි කළ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ මෙහිදී සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් ශේෂයට හෝ ලබාදෙන පොළියට කිසිම බලපෑමක් සිදු නොවෙන බවයි. සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට සියයට 09 ක පොලියක් ලබා දීම සමබන්ධයෙන් සහතික වන බවයි. මේ සමබන්ධයෙන් මේ ලියුම්කරු මෙම මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ සේවකයෙක් විශ්‍රාම යෑමේදී සේවක අර්ථ සාධක අරමුදලේ අවසාන ශේෂය ලබාගත හැකිද යන්නයි. එයට පිළිතුරු දුන් නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කියා සිටියේය. ‘ඔව්. ඒ සඳහා කිසිදු ගැටලුවක් නැහැ. ඕනෑම කෙනෙක්ට කල්පිරුණු වහාම සේවක අර්ථ සාධක අරමුදලෙන් හිමි මුදල ලබා ගැනීමට හැකියාව තිබෙනවා.’ යනුවෙනි. කෙසේ වෙතත් මේ කියන දේශීය ණය ප්‍රශස්ථකරණයට සහභාගි වීමට හෝ සහභාගි නොවී සිටීමේ විකල්ප දෙකක් මේ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට ලබා දී තිබේ. මේ විකල්ප දෙකෙන් වඩා වාසිදායක විකල්පය තෝරා ගැනීමේ අවස්ථාව එම අරමුදල් භාරකරුවන්ට ඇත. එනම් මේ යෝජිත ණය ප්‍රශස්තකරණයට අකමැති නම් ඊට සම්බන්ධ නොවීමට රජයට ණය මුදල් ලබාදී ඇති අරමුදල්වලට හැකිවන අතර එසේ වුවහොත් එම අරමුදල් විසින් රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 14 සිට සියයට 30 දක්වා ඉහළ යනු ඇත.

මේ යෝජනාව අනුව දේශීය ණය ප්‍රශස්තකරණයට ලක්වනු ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්, සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාමික අරමුදල්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ විදේශීය විනිමය බැංකු ඒකක මගින් රජයට ලබාදී ඇති ණය මුදල් වේ.

මෙම මාධ්‍ය හමුවේ දී කතා කළ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ රට මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා මේ ණය ප්‍රශස්තකරණය සිදුකළ යුතුම බවත් රට මුහුණදී සිටින අභියෝගය තවමත් අවසන්ව නොමැති බවත්ය. මෙම මාධ්‍ය හමුවේ දී ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ පැහැදිලි කිරීම් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇති පරිදි රු. ට්‍රිලියන හයක පමණ (ඇමෙරිකානු ඩොලර් බිලියන 19.8 ක) මුදලක් දේශීය ණයවලින් ප්‍රශස්තකරණයට ලක් කෙරෙන අතර ඉන් රු. ට්‍රිලියන 3.5 ක පමණ මුදලක් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාමික අරමුදල් විසින් රජයට ලබා දී ඇති ණය මුදල් වේ. මේ ණය ප්‍රශස්තකරණය මගින් අදාළ දේශීය ණය මුදල් දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කරවලට පරිවර්තනය කෙරෙන බවත් ඒ අනුව අදාළ බැඳුම්කර හුවමාරුව සිදු කිරීම ආරම්භය ලබන අඟහරුවාදා (ජූලි 04) දින සිදුවීමට නියමිත අතර මේ කටයුතු ජූලි මාසය තුළ සිදුකර අවසන් කිරීමට අපේක්ෂා කර ඇත.

මේ ණය ප්‍රශස්තකරණ කටයුතු සඳහා සියලු දෙනාගේ සහය ලබාගනිමින් මේ පියවර ද අප පසුකළ යුතුව තිබේ. මේ ගැන මහජනයාට නිසි දැනුම ලබා දී මේ කාර්යය විනිවිධභාවයෙන් සිදු කිරීම ද අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සම්බන්ධව විවිධ මත පළවීම වැළක්විය නොහැකිය. එම නිසා රජයේ පාර්ශ්වයෙන් සහ මහ බැංකුවෙන් නිවැරදි තත්ත්වය සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ද අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය.

‘ඇත්තටම අද මේ කරන්නෙත් හරි දේ කියා දීමක් තමයි. අපෙන් හැමෝම අහනවා ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා. බැංකු පද්ධතිය කඩාවැටෙනවාද, රට විනාශ වෙනවා ද වැනි විවිධ ප්‍රශ්න අහනවා. මට නම් මේක වේදනාකාරී තත්ත්වයක්. අද රට මුහුණ දී තිබෙන්නේ තියුණු අභියෝගයකටයි. මේ අභියෝගය තවම අවසන් වී නැහැ. රට මුහුණපා ඇති මෙම අභියෝග ජය ගැනීමට නම් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.

බැංකු පද්ධතිය මෙන්ම සේවක අර්ථ සාධක අරමුදලත් අප ආරක්ෂා කරගත යුතුයි. මේ සියල්ලටම අසාධාරණයක් නොවන ලෙස තමයි රට ගොඩනඟාගත යුත්තේ. ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ පිළිබඳව පුළුල් ලෙස ජනතාව දැනුවත් කරනවා. මෙම වැඩපිළිවෙළ පිළිබඳව නිසි පණිවිඩය යා යුත්තේ ඈත ගම්මානවල සිටින, කිසිවක් කරකියාගත නොහැකි දුප්පත් ජනතාවටයි. ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන්නත් බැරි වෙනවා.

මේ වන විට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට එළැඹ තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණයකට අප නොගියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වැඩසටහනට ද එය බලපානවා. එසේ වුවහොත් රටේ අනාගතයට මොකද වෙන්නේ කියා කාටවත් හිතාගන්න බැරි වෙනවා. ඒ නිසා මෙය එතරම්ම සංවේදී කාරණයක් බව කිව යුතුයි.’

ඇතැමුන් මේ දේශීය ණය ප්‍රශස්තකරණය ගැන වන සැලැස්ම ඉදිරිපත් කිරීමට පෙර සඳහන් කළේ මේ හරහා දේශීය බැංකු පද්ධතියට විශාල බලපෑමක් වනු ඇති බවයි. එහෙත් මේ වන විට ඉදිරිපත්ව ඇති දේශීය ණය ප්‍රශස්තකරණ සැලසුම අනුව බැංකු අංශය මෙයින් අතහැර තිබේ. මේ ගැන හේතු පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් සියයට 50 කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත්, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බවයි. එය ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් සිදුකර තිබේ. රටේ බැංකු ක්ෂේත්‍රයේ බිඳවැටීමක් සිදුවුවහොත් එය ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙන්නකි. එබැවින් බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණකි. අනවශ්‍ය ප්‍රචාරයන් සහ මතුවිය හැකි අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ ඇතැම් විට බැංකුවලින් තම තැන්පතු මුදල් ඉවත් කර ගැනීමට ද ඇතැම් තැන්පත්කරුවන් ක්‍රියාකළ හැකිය. මේ සම්බන්ධයෙන් අපෙන්ද බොහෝ දෙනෙක් විමසීම් කළ බව කිව යුතුය. ඒ නිසා තැන්පත් ඉවත් කර ගැනීමේ තත්ත්වයන් ද වළක්වාගත යුතුය. ඉකුත් ජූනි මස 30 වන සිකුරාදා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එක දිගට දින පහක් බැංකු නිවාඩු සඳහා ඉඩ සලසා ගත්තේ ද මේ සඳහා වන ක්‍රියාවලියට පහසුවක් වශයෙන් බව අපට විශ්වාස කළ හැකිය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු පසු මේ දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ක්‍රියාත්මක කළ හැකිය.

****

බැංකු තැන්පත්වලට හෝ අර්ථසාධක ශේෂයට කිසිම බලපෑමක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

රජයේ සම්පූර්ණ දේශීය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආකාරයට දැනට තිබෙන නිර්ණායක වසර 10ක කාලයක් තුළ යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස 2022 අවසානය වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 128 ක් වුණා. නමුත් එය 2032 වන විට සියයට 95 කට වඩා අඩු මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. එය තමයි පළවැනි නිර්ණායකය. දෙවනි නිර්ණායකය වන්නේ රජයේ සම්පූර්ණ මූල්‍යකරණ අවශ්‍යතාව වාර්ෂිකව රජය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින සියයට 34.6 ක ප්‍රමාණය 2027- 2032 වසර පහක කාලය තුළ සාමාන්‍යයෙන් සියයට 13 ක හෝ ඊට පහළ මට්ටමකට ගෙන ඒමයි. තෙවන නිර්ණායකය වන්නේ විදේශ ණය සේවාකරණයයි. එය දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.4 ක් ලෙස පවතිනවා. එය 2027- 2032 කාලය තුළ සියයට 4.5ක මට්ටමට ගෙන ආ යුතුයි.

“මෙම ඉලක්ක ළඟා කර ගතහොත් බාහිර මූල්‍ය පරතරය (external financing gap) පිරවීමට ලැබෙන සහනය, අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා. මේ ඉලක්ක තුන ළඟා කරගැනීමේදී සිදුකළ යුතු තවත් කාරණා තුනක් තිබෙනවා. පළමුවැන්න නිල ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුකරගෙන යනවා. දෙවැන්න වාණිජ වශයෙන් ස්වෛරී බැඳුම්කර මඟින් ගත් මුදල්. ඒ පිළිබඳවත් සාකච්ඡා සිදුවෙනවා. තුන්වැනි කාරණය වශයෙන් දේශීය ණය යම්කිසි ආකාරයකට ප්‍රශස්තකරණය සිදුකිරීමයි. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණය මෙම ක්‍රියාවලියේ එක් පියවරක් වනවා.”

දැනට භාණ්ඩාගාර බිල්පත් රු. ට්‍රිලියන 4.1ක් තිබෙනවා. එයින් සියයට 62.4 ක්ම තිබෙන්නේ මහ බැංකුව සතුවයි. අප දන්නා පරිදි කලින්ම භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කිරීමට එකඟ වී තිබුණා. එයත් ප්‍රමාණවත් නොවන නිසා ඉතිරි ප්‍රමාණය ලබාගැනීම සඳහා අප භාණ්ඩාගාර බැඳුම්කර වෙත අවධානය යොමු කළා. දැනට තිබෙන ආකාරයට රු. ට්‍රිලියන 8.7ක

භාණ්ඩාගාර බැඳුම්කර තිබෙනවා. එයින් සියයට 36.5 ක් තිබෙන්නේ අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් (superannuation fund) වල. සියයට 36 ක් පමණ බැංකුවල තිබෙනවා. ඊට අමතරව අනෙකුත් කොටස රක්ෂණ හා පුද්ගලික අය සතුව තිබෙනවා.

බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය ගිණුම් මිලියන 57ක්. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහ බැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා. ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ.

ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation funds) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන සියයට 14 ක බදුවලට යටත් වූ ඊ. පී. එෆ්, ඊ. ටී. එෆ්, ඇතුළු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියලු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට 2025 වෙනකම්ම සියයට 12 ක පොලියක් ලැබෙනවා. එතනින් ඉදිරියට සියයට 9ක පොලියක් ලැබෙනවා. අනෙක් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ. පී. එෆ්. මුදල අඩු නොවීම. ඉදිරියේදී ලැබෙන්න තිබෙන ප්‍රතිලාභය ලෙස සියයට 9 ක පොලියක් රජය විසින් සහතික කරනවා. රජය පැත්තෙන් සහතික වී තිබෙනවා යම්කිසි ආකාරයකින් අඩු වීමක් සිදුවෙනවා නම් භාණ්ඩාගාරය පැත්තෙන් ඒ අඩුව පුරවන බවට. මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි සියයට 14 ක් වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට සියයට 30 ක් බද්දක් ගෙවීමයි.

(ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පසුගිය ජුනි 29 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහස්)

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment