ආර්ථික අර්බුදයක් ඇති විට 18%ක වැට් බද්ද උචිත නැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

328

2024 වර්ෂය ආරම්භයට පූර්වයේ සිටම වැට් සම්බන්ධ පුළුල් කතිකාවතක් රට පුරා නිර්මාණය විය. 2024 වර්ෂය ආරම්භ වී සති කිහිපයක් ගත වී ඇති නමුත් වැට් පිළිබඳ උණුසුම පහව ගොස් නොමැත. වැට් පිළිබඳ සමාජ දැනුවත්භාවය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ සිදුකළ සාකච්ඡාව ඇසුරෙන් සම්පාදිත ලිපියකි.

ආර්ථික අර්බුදයක් ඇති විට 18%ක වැට් බද්ද උචිත නැහැ - මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

එකතු කළ අගය මත අයකරන බද්ද හෙවත් වැට් බද්ද යනු වක්‍ර බදු ක්‍රමයකි. භාණ්ඩ හා සේවා සඳහා අයකරන මෙම බද්ද අවසාන වශයෙන් මිලදී ගැනීම සිදු කරන පාරිභෝගිකයා විසින් ගෙවීම සිදු කරනු ලබයි. එසේ ගෙවීම සඳහා වැට් බද්දට නිශ්චිත අනුපාතයක් තීරණය කළ යුතුයි. 2024ට පෙර 15%ක් ලෙස පැවති එම අනුපාතය 2024 සිට 18%ක් ලෙස සංශෝධනය විය. ඒ අනුව රුපියල් සියයක භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය සඳහා මිලදී ගැනීමේදී රුපියල් 18ක් බදු වශයෙන් ගෙවිය යුතුයි. එවිට පාරිභෝගිකයා විසින් භාණ්ඩය හෝ සේවාව වෙනුවෙන් ගෙවිය යුතු මුළු මුදල රුපියල් 118කි. මෙහිදී බදු වශයෙන් වැඩිපුර ගෙවන රුපියල් 18 පාරිභෝගිකයා විසින් සෘජුවම ආණ්ඩුවට ගෙවීමක් සිදු නොකරන අතර මිලදී ගැනීම සිදුකරන වෙළෙඳසැල වෙත එම ගෙවීම සිදුකරයි. එසේ පාරිභෝගිකයා ගෙවන බදු ප්‍රමාණය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවීම එම වෙළෙඳසල විසින් සිදුකළ යුතුයි.

එලෙසම වෙළෙඳසල තුළ අලෙවි කරන එම භාණ්ඩය වෙළෙඳසල් හිමියා වෙනත් සැපයුම්කරුවෙකුගෙන් මිලදීගෙන නැවත විකිණීම සිදු කරනවා විය හැකිය. එවැනි අවස්ථාවක ඔහු විසින් පාරිභෝගිකයාගෙන් අයකරගත් බදු මුදලින් සැපයුම්කරුගෙන් මිලදී ගැනීමේදී ඔහුට ගෙවීමට සිදු වූ වැට් බද්ද අඩු කර ඉතිරි බදු මුදල පමණක් රජයට ගෙවීම සිදු කරයි. උදාහරණයක් ලෙස වෙළෙඳසල් හිමියා සැපයුම්කරු හට රුපියල් 15ක වැට් බද්දක් ගෙවා ඇත්නම් ඔහු පාරිභෝගිකයාගෙන් අය කරගන්නා රුපියල් 18ක වැට් බද්දෙන් ඔහු ගෙවූ රුපියල් 15 අඩු කර රුපියල් 3ක් පමණක් බදු වශයෙන් ගෙවීම සිදුකරයි. ඉතිරි රුපියල් 15ක බද්ද මූලික නිෂ්පාදනය සිදුවෙන තැන දක්වා ආපස්සට ගොස් අයකර ගැනීම සිදුවේ. මෙම ක්‍රමවේදයට අනුව කොටස් වශයෙන් කැඩුන බද්දක් අවසානයේ රජය විසින් අයකරගනු ලබයි. ඒ අනුව මෙම බද්ද එකතු කරන ලද අගය මත බද්ද (Value Added Tax) ලෙස හඳුන්වනු ලබයි.

2024 වර්ෂයේදී මෙම වැට් බද්ද පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡා කිරීමට විශේෂ කරුණු තුනක් හේතුවිය. පළමු කරුණ වන්නේ 15% ලෙස පැවති වැට් බදු අයකරන අනුපාතය 2024දී 18%ක් දක්වා ඉහළ දැමීමයි. 2023 වර්ෂය ආරම්භයේදී 12% ලෙස පැවති අනුපාතය 15% ලෙස ඉහළ දැමීම සිදුකළ අතර මෙම 2024 වර්ෂය සඳහා එය 18%ක් දක්වා ඉහළ දමනු ලැබීය. මේ අනුව ඉතාම කෙටි කාලයක් තුළ අප පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා මිල 3%කින් ඉහළ යෑම සිදුවිය. ඒ අනුව මිනිසුන්ගේ ක්‍රය ශක්තියේ පහළ වැටීමක් සිදුවිය. එබැවින් වැට් බද්ද පිළිබඳ වැඩි කතාබහක් නිර්මාණය විය. එලෙස ම වැට් බදු නොපැනවිය යුතු භාණ්ඩ හා සේවා ඇතුළත් නිදහස් ලැයිස්තුවක් ද පවතියි. මිනිසාගේ පරිභෝජනයට අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, ළමා උපකරණ, අධ්‍යාපන උපකරණ වැනි භාණ්ඩ ඊට අයත් වේ. මෙම භාණ්ඩ සඳහා අනවශ්‍ය බදු පැනවීමක් සිදුකළහොත් මිනිසුන් හට තම මූලිකම අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වේ. එනිසා සාධාරණය සහ ආර්ථිකය යන දෙපාර්ශ්වයෙන් ම සිතා මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා වැට් බදු පැනවීමක් සිදුනොකරයි. එවැනි භාණ්ඩ ඇතුළත් නිදහස් ලැයිස්තුව තුළ 2024ට පෙර භාණ්ඩ හා සේවා එකසිය හතළිස් ගණනක් පැවතුණි. එයට පාසල් උපකරණ, සමහර වෛද්‍ය උපකරණ, ඉන්ධන වැනි භාණ්ඩ හා සේවා ඇතුළත්ව තිබූ අතර 2024දී එම ලැයිස්තුවෙන් භාණ්ඩ 97ක් වැනි විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇත. ඒ අනුව මෙතෙක් වැට් අය නොකළ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට බදු අය කිරීම සිදුවේ. එබැවින් මිනිසුන්ගේ බදු බර ඉහළ යෑමක් සිදුවේ. මීළඟ කරුණ වන්නේ මෙම බදු අය කිරීම සිදුවන්නේ වෙළෙඳාම සිදුවන අවස්ථාව තුළයි. එනම් මිලදීගන්නා අවස්ථාවේදී ය. ඒ අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙළෙන්දන් හෝ සැපයුම්කරුවන් හරහා එම බදු අය කිරීම සිදු කරයි. එලෙස ලියාපදිංචි වීමේදී නිර්ණායක පවතියි. ඉන් එක නිර්ණායකයක් වූයේ යම් තැනැත්තෙක් වසරකට රුපියල් මිලියන 80ක වෙළෙඳාමක් කර ඇත්නම් ඔහු වැට් බදු ගෙවීමට ලියාපදිංචි විය යුතු ලෙසයි. එහෙත් මෙම වසර තුළ එම අගය මිලියන 60 දක්වා පහත දමා ඇත. ඒ අනුව මින් පෙර වැට් බදු නොගෙවූ කණ්ඩායමකට අලුතෙන්ම වැට් බදු ගෙවීමට සිදු වී ඇත. මේ දැක්වූ ආකාර තුනට ම වැට් බදු ගෙවීම වැඩිවීම නිසා 2024 වර්ෂයේදී විශේෂයෙන් වැට් පිළිබඳ සාකච්ඡාවක් ඇති විය. මේ පිළිබඳ ආර්ථික හා සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් ගත් විට 18%ක් වැනි බද්දක් අය කිරීම නිසා අඩු ආදායම්ලාභීන් හට තම මූලික අවශ්‍යතා සඳහා වන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වේ. ඔවුන්ගේ ක්‍රය ශක්තිය අඩුවේ. එය රටේ නිෂ්පාදන සිදුකරන නිෂ්පාදකයාට බලපෑමක් එල්ල කරන අතර එය ආර්ථිකය හැකිලීමට ද හේතු වේ. මෙම සියලු කාරණා වැට් බද්දට සමාජ විරෝධතාවක් ඇති වීමට හේතු වී ඇත. සමස්තයක් ලෙස ගත්විට වර්තමානයේ මෙරට පවතින තත්ත්වයත් සමඟ සිදු කළ මෙම සංශෝධනය 2024 දී ආර්ථිකය ගොඩ නැගීමට වඩා තව තවත් අර්බුදයට ලක් වීමට හේතු විය හැකියි.

එලෙසම ඉහත සඳහන් කළ වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ හා සේවා සඳහා බද්දෙන් බලපෑමක් එල්ලවිය නොහැකිය. එම භාණ්ඩ ආනයනයෙදී හෝ වෙනත් අවස්ථාවකදී වැට් බද්දට යටත් නොවේ. උදාහරණයක් ලෙස ලියාපදිංචි වෙළෙඳ සමාගම් විසින් ඖෂධ ආනයනය කිරීමේදී රේගුවෙන් වැට් බද්දක් අය නොකරයි. තොග වශයෙන් අලෙවි කිරීමේදී හෝ වෙනත් කිසිම අවස්ථාවක අලෙවියේදී ඊට වැට් බදු අය කිරීමක් සිදු නොවෙයි. වැට් බද්දෙන් නිදහස් කළ භාණ්ඩවලට සෘජු හෝ වක්‍ර ආකාරවලින් බලපෑමක් එල්ල විය නොහැකියි. නමුත් නිදහස් භාණ්ඩ සඳහා පවතින ආදේශක භාණ්ඩ වල මිල වැට් බද්ද නිසා ඉහළ යෑම සිදුවේ. එවැනි අවස්ථාවලදී මෙරට වෙළෙඳපොළ තුළ පවතින අකාර්යක්‍ෂමභාවය නිසා පෙර සඳහන් කළ නිදහස් භාණ්ඩවල මිලත් ආදේශක භාණ්ඩවලට සාපේක්ෂව ඉහළ දැමීමට වෙළෙන්දන් කටයුතු කිරීමට ඉඩක් ඇත. එලෙස නිදහස් භාණ්ඩවල මිල වැඩි කළත් ඒ හරහා එකතු වෙන බද්ද ආණ්ඩුවට හිමි නොවෙයි. මෙවැන්නක් වෙළෙඳපොළ තුළ සිදු වීමට මෙන්ම නොවීමට ද ඉඩ ඇත. වක්‍රාකාරයෙන් හෝ සිදුවනවා නම් විය හැක්කේ මේ ආකාරයට මිල වැඩිකිරීමකින් නිෂ්පාදකයා පාරිභෝගිකයාගෙන් එකතුකරගැනීමක් මිස එය ආණ්ඩුව වෙත හිමිවීමක් නොවෙයි. ඒ හැර නිදහස් භාණ්ඩ සඳහා වැට් බද්දෙන් බලපෑමක් එල්ලවිය නොහැකිය.

වැට් බද්ද පිළිබඳ ජනතාව අතර පවතින දැනුවත්භාවය ගැන සැලකීමේදී සියලුම ජනතාව පිළිබඳ ප්‍රකාශ කළ නොහැකි වුවත් සිදු කරන ලද සාකච්ඡා අනුව පෙනී යන්නේ ඔවුන්ගේ දැනුවත් භාවය ඉතා අවම බවයි. වැට් කියූ සැණින් එය ව්‍යාපාරිකයන්ගෙන් අය කරගන්නක් නොඑසේනම් පාරිභෝගිකයන්ගෙන් අයකරගන්නා බද්දක් වැනි අදහස් ඔවුන් තුළ පවතින අතර බදු අය කරන ආකාරය පිළිබඳ ව්‍යාකූලත්වයකින් ඔවුන් පසුවේ. වැට් බද්ද අය කරගන්නා ආකාරය පිළිබඳ ඔවුන්ට පැහැදිලි අවබෝධයක් නොමැත. මෙය එකතු කළ අගය මත බද්ද ලෙස නම් කළද වටිනාකම එකතු වෙන්නේ කෙසේද? මෙහි අගයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද? යන්න පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නොමැත. එලෙසම අතරමැදියන් විසින්ද බද්ද ගෙවා ඇති බව ඔවුන් සිතයි. එහෙත් එය එසේ සිදු නොවෙයි. නිෂ්පාදනය අදියර දහයක් පහළොවක් පසුකර පැමිණියත් අවසන් පාරිභෝගිකයා විසින් බද්ද ගෙවිය යුතුය. මෙහිදී භාණ්ඩයේ වටිනාකම මත එකතු කිරීම සිදු වුවද අවසානයේ සමස්ත බර දැරීමට පාරිභෝගිකයාට සිදුවේ. සමස්තයක් ලෙස ගත් විට මෙවැනි කරුණු පිළිබඳ මහජනතාවගේ අවබෝධය ඉතා අවමය. භාණ්ඩ හා සේවා මත බදු අයකරන විට තාක්ෂණයත් සමඟ සම්බන්ධ වී වෙළෙඳාම් කරන සෑම කෙනෙකුම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සම්බන්ධ කළ හැකි නම් මෙවැනි වක්‍ර බදු අය කිරීම් ඉතාමත් කාර්යක්ෂම කළ හැකිය. එහෙත් මෙරට තුළ එලෙස සිදු නොවීම හා මෙම බදු ක්‍රමය පිළිබඳ සමාජගතවී ඇති විවිධ අදහස් සහ අනවබෝධය නිසා පොදු ජනයා තුළ මේ පිළිබඳ පවතින දැනුවත්භාවය යහපත් මට්ටමක නොමැත.

ආණ්ඩුව මෙලෙස බදු අය කරනුයේ ආදායම එකතු කර ගැනීම සඳහා වුවත් බදු අය කරන මූලධර්ම පවතියි. බදු අය කිරීම සාධාරණ විය යුතුයි. නමුත් මෙහිදී එක් පැත්තකින් සාධාරණ බව බිඳ වැටීමකට ලක් වේ. මෙම බදු පැනවීමේදී ආදායම් විෂමතාවකින් තොරව සෑම කෙනෙකුටම බදු ගෙවීමට සිදුවී ඇත. ඒ අනුව අවම ආදායමක් ලබන මිනිසුන් තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත් වී ඇත. ඔවුන්ගේ ක්‍රය ශක්තිය පහළ වැටීම නිසා අත්‍යවශ්‍ය දේ පවා මිලදී ගැනීමට නොහැකිව කැප කිරීමට සිදුවේ. එලෙස රට තුළ පවතින නිෂ්පාදන මිලදී නොගන්නා විට නිෂ්පාදකයන්ට භාණ්ඩ හා සේවා අලෙවිකරගත නොහැකි තත්ත්වයක් උදා වේ. එය ආර්ථිකය තව තවත් හැකිලීමට හේතු වේ. විශේෂයෙන් ම රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක 18%ක බද්දක් පැනවීම නුසුදුසුය. මීට අමතරව භාණ්ඩ හා වෙළෙඳාම මත SSCL (Social Security Contribution Levy) වැනි තවත් වක්‍ර බදු පනවා බදු ක්‍රමය සංකීර්ණ තත්ත්වයට පත්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය වාරික වෙනුවෙන් ලබාදී ඇති නිර්ණායක රජය මෙවැනි අර්බුදකාරී අවස්ථාවක බදු අනුපාතය ඉහළ දැමීමට හේතු වී ඇත. ඒ අනුව 2025 අයවැය අතර ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස +2.3ට රැගෙන ආ යුතුය. එසේ සිදු කිරීමට නම් රාජ්‍ය ආදායම වැඩි කළ යුතු අතර වියදම අඩු කළ යුතුය. ආණ්ඩුව ප්‍රාග්ධන වියදම් අඩු කිරීම හරහා වියදම් අඩු කර ඇති නමුත් IMF නිර්ණායක සපුරාගැනීමට එය ප්‍රමාණවත් නොවේ. එබැවින් ඉතිරිව ඇති විසඳුම වන්නේ ආදායම ඉහළ නංවා ගැනීමයි. ඒ සඳහා මෙවැනි බදු ක්‍රම ක්‍රියාත්මක කිරීමට සිදුවේ. නමුත් තවත් පැත්තකින් බදු ක්‍රමය පිළිබඳ පවතින විශ්වසනීයත්වයේ හෝ වෙනත් ගැටලු හේතුවෙන් බදු පැහැරහැරීම්, බදු නොගෙවීම් වැනි තත්ත්වයන් උදා වී ඇත. විගණන වාර්තා අනුව ඒ බව ඔප්පු වී ඇත. බදු ගෙවිය හැකි අයගෙන් අය කර ගැනීම වෙනුවට පහසුවෙන් බදු අය කරගැනීමේ ක්‍රමවලට යොමු වීමෙන් සමාජ අසාධාරණයන් සිදුවේ. සමාජ ව්‍යාකූලතා ඇති වේ. එබැවින් මෙවැනි අවස්ථාවක් තුළ මෙවැනි බදු ක්‍රමවේදයක් යහපත් සමාජයක් වෙනුවෙන් සුදුසු තීරණයක් නොවන්නේය.

● සචිනි ඉමල්ෂා උඩවත්ත
ජනසන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment