ඇෆ්ගනිස්තානයෙන් සටන ගිලිහී ශ්‍රී ලංකාවට ජය හිමිවේ

229

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අවසන් කඩුලු 9 ලකුණු 82 ක් තුළ බිඳ දැමූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර ක්‍රියාත්මක වූ පළමු ටෙස්ට් තරගය තවත් දිනයක් සහ සම්පූර්ණ වරුවක් ඉතිරිව තිබීයදී ජයග්‍රහණය කිරීමට ඊයේ (05 වැනිදා) සමත් වූයේය.

පෙරේදා දිනයේ තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා සිටි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවෝ ඊයේ දිනයේදී ලකුණු 296 කට දැවී ගියහ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 56 කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයෙන් කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමි විය.

එහිදී දිමුත් කරුණාරත්න පන්දු 22 කදී නොදැවී ලකුණු 32 ක් ලබා ගත් අතර අනෙක් ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 23 කදී නොදැවී ලකුණු 22 ක් රැස් කර සිටියේය.

ඇෆ්ගනිස්තානයෙන් සටන ගිලිහී ශ්‍රී ලංකාවට ජය හිමිවේ

මෙම තරගය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා නායකත්වයට පත්වීමෙන් පසු තරග වැදුණු පළමු තරගය විය.

එම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ඇෆ්ගනිස්තාන දෙවෙනි ඉනිමේ කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර එම කඩුලු 5 ගාල්ල ක්‍රීඩාංගණයෙන් පිටතදී ජයසූරිය ලබා ගත් පළමු කඩුලු 5 ලෙස සටහන් වූයේය.

දෙවැනි ඉනිමේ ලකුණු 107 කට කඩුලු 5 ක් සහ පළමු ඉනිමේ ලකුණු 67 කට කඩුලු 3 ක් දවා ගත් ප්‍රභාත් ජයසූරිය තරගයේ වීරයා සම්මානයද හිමි කර ගත්තේය.

ඇෆ්ගනිස්ථාන දෙවෙනි ඉනිමේ පෙරේදා දිනයේදී අර්ධ ශතකයට ලකුණු 3 ක් මෙපිටින් සිටි රහමට් ශා ඊයේ උදෑසනම සිය අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුවද ඉන් පසුව වැඩි වේලාවක් ඔහුට කඩුල්ලේ රැඳී සිටීමට කසුන් රාජිත අවසර නොදුන්නේය.

කසුන් ගේ පන්දුවක් හමුවේ රහමට් ශා ලකුණු 54 කට දැවී යන විට ඇෆ්ගනිස්තානයේ ලකුණු සංඛ්‍යාව 214 ක් විය.

ශතක ලාභී ඉබ්‍රාහිම් ශර්ධාන් ගේ කඩුල්ල අනතුරුව දවා ගනිමින් ප්‍රභාත් ජයසූරිය ඇරඹූ කඩුලු දඩයම නිමා වූයේ ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණයකට මාවත පෙන්වා දෙමිනි.

නසීර් ජමාල් ඊයේ දිනයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තද ඔහුට අවශ්‍ය සහාය අවසන් පිතිකරුවන්ගෙන් හිමි නොවීය.

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්තානය -පළමු ඉනිම 198/10(62.4)

රහමන් ශා 91, නූර් අලි සර්ධාන් 31, කයිස් අහමඩ් 21

පන්දු යැවීම

විශ්ව ප්‍රනාන්දු 12-51-4, අසිත ප්‍රනාන්දු 14.4-24-3, ප්‍රභාත් ජයසූරිය 25-67-3

ශ්‍රී ලංකාව – පළමු ඉනිම 439/10(109.2)

දිමුත් කරුණාරත්න 77, නිශාන් මධුෂ්ක 37, කුසල් මෙන්ඩිස් 10, ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, සධීර සමරවික්‍රම 27

පන්දු යැවීම

නවීඩ් සඩ්‍රාන් 22.5-83-4, කායිස් අහ්මඩ් 22-98-2, නිජාට් මෂූඩ් 19.2-76-2

ඇෆ්ගනිස්තානය දෙවන ඉනිම

296 /10 (112.3)

ඉබ්‍රාහිම් ශර්ධාන් 114, නූර් අලි ශර්ධාන් 47, රහමට් ශා 54, නසීර් ජමාල් නොදැවී 41

පන්දු යැවීම

අසිත ප්‍රනාන්දු 21.3-63-3, ප්‍රභාත් ජයසූරිය 47-107-5, කසුන් රාජිත 20-59-2

ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම

කිසිවෙකු නොදැවී 56(7.2)

දිමුත් කරුණාරත්න නොදැවී 33, නිශාන් මධුෂ්ක නොදැවී 22

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment