ඉන්දියාවේ බෞද්ධ උරුමය වෙත පිවිසෙන බෞද්ධ සංචාරක දුම්රිය

508

මහාපරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ තම අනුගාමිකයන්ට පවසන්නේ තමන් ඉපදුණු ලුම්බිණි, බුද්ධත්වය ලැබූ බෝධිගයාව, මුල් දේශනාව පැවැත්වූ සාරානාත්, සහ පරිනිර්වාණය සිදු වූ කුෂිනගර් යන ස්ථානවලට ශ්‍රද්ධා සම්පන්නව වන්දනා නමස්කාර කිරීමෙන් කුසල් රැස්කර ගත හැකි බව සහ උතුම් පුනර්භවයක් ලබා ගත හැකි බවයි.

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට දේශීය හා විදේශීය බැතිමතුන්ට වැඩි අවස්ථාවක් සලසාලමින් බෞද්ධ සංචාරක දුම්රිය සේවාවක් ආරම්භ කර ඇති බවට ඉන්දීය මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කළේය.

ඒ අනුව ඉන්දියානු දුම්රිය බලධාරීන් (IRCTC) විසින් දේශීය සහ විදේශීය සංචාරකයන්ට උසස් තත්ත්වයේ, කරදරයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සපයමින් බෞද්ධ සංචාරක දුම්රිය එහි අධ්‍යාත්මික ගමන ආරම්භ කර ඇත.

පළමු වරට 2019 දී ඇරඹි මෙම දුම්රිය ගමන් සේවාව පසුගිය දෙවසරක පමණ කාලය තුළ මුළුමනින්ම නැවතුණේ ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගතයත් සමග සංචරණ සීමා වීම පැනවීමත් සමගයි.

මහාපරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ තම අනුගාමිකයන්ට පවසන්නේ තමන් ඉපදුණු ලුම්බිණි, බුද්ධත්වය ලැබූ බෝධිගයාව, මුල් දේශනාව පැවැත්වූ සාරානාත්, සහ පරිනිර්වාණය සිදු වූ කුෂිනගර් යන ස්ථානවලට ශ්‍රද්ධා සම්පන්නව වන්දනා නමස්කාර කිරීමෙන් කුසල් රැස්කර ගත හැකි බව සහ උතුම් පුනර්භවයක් ලබා ගත හැකි බවයි.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව වැඳ පුදා ගැනීමට ගමන් කළ හැකි ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතින් 2021 වර්ෂයේ දී විවෘත විය.

ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ වෙහෙර විහාර දැක බලා ගැනීමටත්, ගෞතම බුදුන් වහන්සේ විනයානුකූල දිවි පෙවෙතක් ගෙවූ ඓතිහාසික ස්ථාන නරඹමින් අත්දැකීම් විඳ ගැනීමටත් බැතුමතුන්ට හා සංචාරකයන්ට නව දුම්රිය සේවයෙන් පහසුකම් සැලසෙන අතර, එම දුම්රිය නේපාලයේ සහ ඉන්දියාවේ සිද්ධස්ථාන 9ක් ආවරණය කරමින් ධාවනය කෙරෙන බව හින්දුස්තාන ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.

මෙරට බෞද්ධයකුගේ ජීවිත කාලය තුළදී අත්කර ගැනීමට අපේක්ෂා කරන බලාපොරොත්තු අතුරින් බුදුහිමියන් වැඩසිටි දඹදිව වන්දනාමාන කිරීම ප්‍රමුඛ කාරණයක් වනු නොඅනුමානය. ඒ අනුව වාර්ෂිකව 50,000 ට අධික ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව දඹදිව වන්දනාමාන කිරීම සඳහා සහභාගි වන බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව ‘භාරත් ගෞරව් ටේ්‍රන්ස්‘ නමැති දුම්රිය සේවාව (Bharat Gaurav Trains) මගින් ශ්‍රී ලාංකික බැතිමතුන්ට සිය උතුම් වූ අධ්‍යාත්මික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

දින අටක් පුරා රාත්‍රීන් 7ක් ආවරණය වන පරිදි පැවැත්වෙන ‘භාරත් ගෞරව්‘ බෞද්ධ සංචාරක දුම්රිය සේවය පසුගිය මාර්තු මස 11 වැනිදා නවදිල්ලි නුවර සෆ්ඩාර්ජන්ග් දුම්රිය ස්ථානයෙන් ආරම්භ කර ඇති අතර, එය මාර්තු මස 18 දින යළි එම දුම්රිය ස්ථානයට ළඟා විය.

දිල්ලියෙන් ආරම්භ වන දුම්රියේ පළමු ගමනාන්තය බුද්ධගයාවයි. එහිදී සංචාරකයන්ට පළමුව මේ වන විට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇති මහබෝධි විහාරය නැරඹීමට අවස්ථාව හිමිවන අතර නේරංජනා නදිය නැරඹීමද හැකිවීම තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙසට සැලකිය හැකිය.

දෙවන දිනයේ දී බුද්ධගයාව වෙත ගමන් කරයි. එය බුදුදහම ආරම්භ වූ ස්ථානයයි. වන්දනාකරුවන් සහ බෞද්ධ අනුගාමිකයන් මෙම ස්ථානයට සහ එයට සම්බන්ධ පුරාවෘත්තයට ඇලුම් කරති.

ඉන්දියාවේ බෞද්ධ උරුමය වෙත පිවිසෙන බෞද්ධ සංචාරක දුම්රිය

එදිනම ගයාවේ තවත් වැදගත් වන්දනීය ස්ථාන රැසක් නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙන අතර තෙවැනි දින පැය දෙකක සුඛෝපභෝගී බස් ගමනකින් පසු රාජ්ගීර් වෙත ළඟා වීමට සැලසුම් කර ඇත. එහිදී බිම්බිසාර රජු සිරගත කර සිටි සිර මැදිරිය, ගිජ්ජකූඨ පර්වතය සහ වේලුවනය දැක බලා ගැනීමට අවස්ථාව හිමි වේ. තෙවැනි දිනයේ පස්වරු කාලය වෙන් වන්නේ නාලන්දාවේ නටබුන් නැරඹීමටයි.

නාලන්දා බෞද්ධ සංචාරක ව්‍යාපාරයේ ජනප්‍රිය ගමනාන්ත දෙක වන සූර්ය මන්දිරය සහ හියුන් සාං අනුස්මරණ ශාලාව මෙහිදී දැකගත හැකි වනු ඇත. සූර්ය මන්දිරය බැතිමතුන්ගේ ප්‍රධාන ආකර්ෂණය වන පාර්වතී දේවියගේ අඩි 5 ක් උස ප්‍රතිමාවක් ඇත. වසරකට දෙවතාවක් මෙහි පැවැත්වෙන චට් පූජා අතරතුර මෙම විහාරය ජීවමාන වේ.

ක්‍රිස්තු වර්ෂ පස්වැනි සහ නවවැනි සියවස් අතර කාලයේ පැවති නාලන්දාව ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලය ලෙස සැලකෙයි. එහි අධ්‍යාපනය හැදෑරීමට චීනයේ සහ ඉන්දුනීසියාව වැනි රටවලින්ද සිසුන් පැමිණි බවට තොරතුරු අනාවරණය වේ.

ඉන්පසු දුම්රිය වරනාසි බලා පිටත් වේ. සිව්වැනි දිනයේ වරනාසියේ සහ සැවැත්නුවර සංචාරය කරන අතර එහිදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකළ ස්ථානය, සාරානාත් කෞතුකාගාරය, අශෝක කුලුන, මූලගන්ධ කුටි විහාරය වැනි ස්ථාන බැතිමතුන්ට නැරඹීමට අවස්ථාව උදාවෙනු ඇති.

එහිදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් බ්‍රහ්ම, ස්වරය විහිදුවා පස්වග තවුසන් අමතා දේශනා කළ වදාළ ප්‍රථම දේශනාව වන ධම්ම චක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ ස්ථානය දැකගත හැකි වනු ඇති. ශිව වන්දනාවේදී වැදගත් වන ශංකර්, ශිව සහ විෂ්ණු සඳහා කැප වූ විශාල පන්සල් දෙකක් මෙහි ඉදි කර ඇත. අක්බර් අධිරාජ්‍යයන් විසින් ඉතිහාසයට එකතු කළ සංස්කෘතික අංගයන් ද මෙහිදී බැතිමතුන්ට දැක ගත හැකි වේ.

පස්වැනි දිනයේ දී දුම්රිය සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ ලුම්බිනියට පැමිණෙන අතර එම දිනය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ එහි වැදගත් ස්ථාන නැරඹීමටයි. ලුම්බිණිය පිහිටා ඇත්තේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් කිහිපයක් දුරින් ඉන්දියාවේ දේශ සීමාවට ඉතා ආසන්නයේය.

බුදුන් වහන්සේගේ පුරාවිද්‍යා නටබුන් තවමත් පවතින බෞද්ධ වන්දනා මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය දැන් සංවර්ධනය කර ඇත.

සංචාරක ලැයිස්තුවේ ඊළඟට ගමනාන්තය කුෂිනගර් වෙයි. ඒ අනුව හයවන දින කුෂිනගර් වෙත ළඟා වනු ඇත. එය සුන්දර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති වන්දනා මධ්‍යස්ථානයකි. එය උතුරු ඉන්දියාවේ ගෝරක්පූර් (උත්තර් ප්‍රදේශ්) සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටා ඇත.

හත්වැනි දින උදෑසනම දුම්රිය බල්රාම්පූර් වෙත ළඟා වන්නේ පුරාණ ඉන්දීය කෝසල රාජධානියේ අගනුවර වූ බුදුරජාණන් වහන්සේ සිය ජිවිතයේ වැඩිම කාලයක් විසූ ශ්‍රාවස්තියේ හෙවත් සැවැත්නුවර සංචාරය සඳහායි. එය උත්තර් ප්‍රදේශ්හි නගරයකි. එය පුරාණ ඉන්දීය කෝසල රාජධානියේ අගනුවර වූ අතර බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු වැඩිපුරම වැඩ සිටි ස්ථානය විය. එය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ඊසානදිග කොටසේ නේපාල දේශසීමාවට ආසන්නයේ රප්ති ගඟ අසල පිහිටා ඇත.

ජේතවන විහාරය ඇතුළු වැදගත් ස්ථාන නැරඹීමට ද එහිදී අවස්ථාව හිමිවන අතර දුම්රිය ගමනේ අවසන් නැරඹුම් ස්ථානය වන්නේ ලොව පුදුම හතෙන් එකක් වන අග්‍රා හි ටජ්මහලයි.

අටවැනි දිනයේ උදෑසන මෙම දුම්රිය යමුනා ඉවුරේ උත්තර් ප්‍රදේශ් හි වඩාත්ම ජනාකීර්ණ නගරවලින් එකක් වන අග්‍රා වෙත ළඟා වන අතර ටජ්මහල නැරඹීමෙන් අනතුරුව එදින පස්වරු 6 වන විට දුම්රිය යළි නවදිල්ලියට ළඟා වනවා.

ටජ් මහල්, අග්‍රා, කොටුව සහ ෆතේපූර් සික්‍රි වැනි බොහෝ යුනෙස්කෝ ලෝක උරුම අඩවි නිසා එය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත් වී ඇත. ටජ්මහල නැරඹීමෙන් අනතුරුව එදින පස්වරු 6 වන විට දුම්රිය යළි නවදිල්ලියට ළඟා වීමට නියමිතය.

අද්විතීය අත්දැකීමක් ලබාදෙමින් මෙම දුම්රියේ ගමන් කරන්නන් සඳහා වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය මැදිරි, අවන්හල් දෙකක්, කුඩා පුස්තකාලයක්, නවීන මුළුතැන්ගෙයක් සහ පාද සම්බාහන යන්ත්‍ර වැනි පහසුකම්ද හිමිවෙයි.

දුම්රියේ පන්ති වර්ග දෙකක් ඇත. ඒ වායු සමනය කළ පළමු පන්තියේ දුම්රිය මැදිරි සහ වායු සමනය කළ දෙවන පන්තියේ දුම්රිය මැදිරි වශයෙනි. ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයට වායු සමනය කළ පළමු පන්තියේ දුම්රිය මැදිරි තුළ අමුත්තන් 96 දෙනකුට නවාතැන් ගත හැකි අතර අමුත්තන් 60 දෙනකුට දෙවන පන්තියේ මැදිරි තුළ ඉඩකඩ ඇති බවයි.

සම්පූර්ණ දින අටක සංචාරය සඳහා වියදම ඉන්දියානු රුපියල් 75,075 ක් බවට ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කරන ලදී. සංචාරයට පෙර සහ පසු නවදිල්ලියේ හෝටල් නවාතැන් සහ නේපාලයට ඇතුළු වීමේදී වීසා ගාස්තු ද මීට ඇතුළත් වේ.

www.irctcbuddhisttrain.com යන වෙබ් අඩවිය ඔස්සේ ඔබේ සංචාරය වෙන් කරවා ගත හැකි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කරන ලදී.

බොදු හදවත් තුළ ඉන්දියාවට ඇත්තේ අද්විතීය ස්ථානයකි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින අවියෝජනීය සබඳතාව තුළ බුදු දහමට හිමි වන්නේ කේන්ද්‍රීය ස්ථානයකි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද සහභාගි විය. බෞද්ධ ක්ෂේත්‍රය තුළ දෙරට අතර තිබෙන ශක්තිමත් සබඳතා තවත් සවිමත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා බොදු සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා උත්සහය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවට මහත් අස්වැසිල්ලකි.

සමන් මල්ලවාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment