ඉන්දියාව ලංකාවේ ජනපති අපේක්‍ෂකයන් තේරීම

447

පසුගිය 31 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවති හමුවකට සහභාගි වෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ඉන්දියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේ විදෙස් සංචාරයක් සඳහා සූදානම් වන්නේ නම් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට යන ලෙසයි. මේ ප්‍රකාශය සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු දක්නට ලැබිණි. ‘ඔබට නිවාඩුවක් තිබෙනවා නම් එය ශ්‍රී ලංකාවේ ගත කරන්න’ කියා ඉන්දියානු විදේශ කටයුතු කියන්නේ ලංකාව කෙරෙහි ඇති ප්‍රේමයෙන්ද යන්න නම් අපට පැහැදිලි නැත. එය ලංකාවට ආදරෙන් කියපු එකක් නොවන අතර මාලදිවයිනට විරුද්ධව සිදු කළ ප්‍රකාශයකි. වත්මන් මාලදිවයින් ජනාධිපතිවරයා චීනයට හිතවත් නිසා දිල්ලියේ බ්‍රාහ්මණයන් බලවත් කෝපයට පත්ව සිටි. ඒ නිසා දැන් ‘Boycott Maldives’ නමින් විරෝධතා ව්‍යාපාරයක් එරට තුළ ක්‍රියාත්මකය. මේ සඳහා ඉන්දීය නළු නිළියෝද සහය ලබා දෙති. මාලදිවයිනේ තමන්ට හිතවත් පාලනයක් ඇතිවනතුරුම ඉන්දියාව මේ වැඩසටහන ගෙනයනු ඇත. කවරක් නමුත් ලංකාවට වැඩියෙන් ඉන්දියානුවන් පැමිණීම සංචාරක ව්‍යාපාරයට බලවත් වාසියකි. එසේම ඉන්දියානු මධ්‍යම පන්තිය අතදිගහැර වියදම් කරයි. මෙරටට පැමිණෙන යුරෝපා සංචාරකයන්ට වඩා ඉන්දියානු සංචාරකයන් වියදම් කරන බව සංචාරක මගපෙන්වන්නෝ පවසති.

ඉන්දියාව ගැන මේ දිනවල නිරන්තරව කතා වන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ දිල්ලි ගමන හේතුවෙනි. අනුර දිසානායක සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු තිදෙනකු දින 05ක සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ පසුගිය සතියේ සඳුදා දිනයේය. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කවර කතා කිව්වද දැන් ජවිපෙ ආස්ථානය පැහැදිලිව වෙනස්ව ඇති බව පෙනේ. ඉන්දියාව බූවල්ලෙකු ලෙස බලය පැතිරවන විට අසල්වැසි රාජ්‍යයන්හි දේශපාලන වෙනස්වීම් ගැන නිරන්තරව අවධානයෙන් පසුවෙයි. ලංකාවේ දේශපාලන රැලි ගැන අවධානයෙන් යොමුව සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණයින් වහාම අනුර මහතාට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබිණි.

අනුර කුමාර දිසානායක මහතා පසුගිය සඳුදා දිනයේ නවදිල්ලියට ගොඩ බැසීමෙන් පසුව විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සමඟ පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් අනතුරුව ඔහු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ විදේශ ලේකම් විනේ ක්වාත්‍රා හමුවිය. ජවිපෙ නායකයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ බුද්ධි මණ්ඩලයක් වන Observer Research Foundation හි නිලධාරීන් ද හමු විය. ඔවුන් වඩා උන්නදුවන්නේ චීන බලපෑම් අවම කිරීම වෙනුවෙනි. ගුජරාට් ප්‍රාන්තයට ගිය දිසානායක සහ ඔහුගේ දූත පිරිසේ සාමාජිකයන් අහමදාබාද්හි පිහිටි අමුල් කිරි සංකීර්ණයකට ගියහ. ජවිපෙ මීට පෙර නායකයා ශ්‍රී ලංකාවේ අමුල් ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කළ බව අපට අමතක නැත. එහෙත් දැන් මේ ගැන කියන්නේ වෙනස් කතාවකි. පසුව ඔහු සෙනසුරාදා රාත්‍රියේ කොළඹට පැමිණීමට පෙර කේරළ ප්‍රාන්තයේ තිරුවානන්දපුරම් වෙතද ගොස් තිබේ.

පසුගිය සතියේ ඉන්දියාවේ ‘ද හින්දු’ වෙබ් අඩවිය මේ සංචාරය පිළිබඳව වාර්තා කරමින් කියා සිටියේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය දේශපාලන පක්ෂයක් වන ජාතික ජනබලවේගය පක්ෂයේ නායකත්වයට ඉන්දීය රජයෙන් නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කිරීම සැලකිය යුතු කරුණක් බවයි.

ජාතික ජනබල වේගය පක්ෂයේ නායකයා ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නව දිල්ලි අගනුවර, අහමදාබාද් සහ තිරුවනන්තපුරම් හි සංචාරය කිරීමට නියමිත බවත් එහිදී රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාවන් මුණගැසීමට අමතරව කෘෂි හා කාර්මික මධ්‍යස්ථාන නැරඹීමට නියමිත බව ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. ඉන්දීය මාධ්‍ය මේ සංචාරය ගැන උන්නදුවෙන් පසුවිය. ඇත්තෙන්ම ජවිපෙ නායකයා හා අජිත් දොවාල් අතර ඇතිවූ සාකච්ඡාව ගැන තොරතුරු නම් හෙළිව නැත. රෝ ඔත්තු සේවයද මෙහෙයවනු ලබන්නේ අජිත් දොවාල්ගේ පූර්ණ මැදිහත්වීම යටතේය. අජිත් දොවාල් සැමවිටම උත්සාහ කරන්නේ මෙරට චීන ආධිපත්‍ය පැතිරවීම වැළැක්වීම සඳහාය. එසේම ඉන්දීය ආයෝජනවලට ඇති විරෝධය සමනය කිරීමටය. අනුරගේ පක්ෂයට ඉදිරි මැතිවරණ සඳහා ඉන්දීය ආධාර අඩු නැතිව ලැබෙන බවට හොඳ සහතිකයක් මේ හමුව හරහා ලැබුණු බව නම් සහතිකය. බංගලාදේශයේ විපක්ෂය ඉන්දියාව පලයන් යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති නිසා හදිසියේම ඩකා වෙත ගිය ඉන්දීය ආරක්ෂක උපදේශකයා එම ගමන අහවර කර පැමිණීමෙන් පසුව ලංකාවේ දේශපාලන පක්ෂ නායකයා හමුවිය.

ජවිපෙ නායකයා හමුවීමෙන් පසුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ජා කළ බවත් අසල්වැසියාට ප්‍රමුඛස්ථානය සහ සාගර කලාපයේ ඉන්දියාවේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සහතික කිරීම සඳහා වන ඉන්දියානු සාගර කලාපයට ප්‍රමුඛත්වය දෙන සමුද්‍ර මුලපිරීම යන තේමාව යටතේ ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

කේරළ ප්‍රාන්තයේ සිට සිට සන්ඩේ ටයිම්ස් පුවත්පත අමතමින් අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය ගැන මෙසේ අදහස් දක්වා තිබිණි. “විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සමඟ මා කළ සාකච්ඡාව ඉතා ප්‍රයෝජනවත් සහ ප්‍රතිලාභදායක වුණා අපි වෙනස් වෙලා ඉන්න බව ඔවුන් පිළිගන්නවා ඉන්දියාව එහි ආරක්ෂාව ඇතුළු ඉන්දියාවේ අභිලාෂයන් ගැන අපි අවධානයෙන් ඉන්නවා මෙම කරුණු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ ද සාකච්ඡා කළා. ජාතික ජනබලවේගයේ නායකයා ඉන්දියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අදහස් පිළිබඳ පක්ෂයේ මතය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පවසා තිබිණි. “අපි ඉන්දීය විරෝධී වුණේ නැහැ කොයි අවස්ථාවකවත්. අපේ රටට හානිදායක තීන්දු තීරණ ගත්තම අපි ඒවාට විරුද්ධ වුණා. අපි රටකට විරුද්ධ වෙන්නේ නැහැනේ. ඒක විහිළු සහගත දෙයක් නේ. කුමන සම්බන්ධතාවයක් වුණත් ඒක රටට හානිදායක දෙයක් නම් ඒකට අපි විරුද්ධ වුණා.”

තව මාස කිහිපයකට පසු පැවැත්වෙන ජනපතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනකු ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා සතියක් ඇතුළත හමුවීම ඔවුන් ලංකාවේ කටයුතු ගැන කවර උනන්දුවක් දක්වන්නේද යන්න හොඳින් පැහැදිලි වෙයි. දිල්ලියේදී අනුර හමුවී දින කිහිපයක් ගතවීමට ප්‍රථම බටහිර ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවරදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී ඔහු අනුර තමන්ට පැවසුවේ කුමක්ද යන්න ජනපතිවරයාට පැවසුවාද යන්න පැහැදිලි නැත. කවරක් නමුත් මෙම රැස්වීම් දෙකම ඉන්දියාව විසින් සංවිධානය කර තිබිණි. ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය වියොන් රූපවාහිනියට ප්‍රකාශ කර තිබුණේද පර්ත් නුවරදීමය.

කලක් ජවිපෙ ප්‍රබලම කථිකයා බවට පත්ව සිටි වත්මන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ලංකාවට උගන්වනු ලැබූ දේශපාලන පක්ෂය ද අද නිහඬව සිටින්නේ, ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ ඉන්දියානු ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතා ප්‍රබල සාමාජිකයන් නිසා බවයි. එහිදී ඔහු මෙසේද පවසා තිබිණි. “අද තමන්ට කියා වරායවල් නැති නේපාලය ඉන්දියාවේ දැඩි බලපෑමකට නතුව සිටින ආකාරය ඉතා ඛේදනීයයි. ශ්‍රී ලංකාවේ අද පවතින තීව්‍ර ආර්ථික අර්බුදය පාවිච්චි කරලා, එට්කා ගිවිසුමත් අත්සන් කරවාගෙන, ඉන්දීය ආධිපත්‍යය ආර්ථික සහ දේශපාලනමය වශයෙන් පතුරුවා ගැනීමයි ඔවුන්ගේ වුවමනාව. ඒකට අද ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ ගැතිකම් කරනවා. මේ අනතුර, ඇත්ත අවදානම කිසිවකුත් පෙන්වා නොදෙන්නේ ඒ නිසයි. ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ගැන ලංකාවට උගන්වපු මිනිස්සුත් අද කට වහගෙන ඉන්නේ ඒ නිසයි. මේ ගොදුරු කර ගැනීමේ, අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතාම ප්‍රබල සාමාජිකයන් බවට පත්ව සිටිනවා.”

ජවිපෙ ඉන්දීය සංචාරය නිමාවෙද්දී අසන්නට ලැබුණු පුවතක් වූයේ ලංකාවේ ගුවන්තොටුපළ තුනක් පාලනය සඳහා ඉන්දියාවේ අදානි සමාගම කැමැත්තෙන් සිටින බවයි. මෙය බරපතළ කතාවකි. බණ්ඩාරනායක ගුවන්තොටුපළ, මත්තල මෙන්ම රත්මලාන ගුවන්තොටුපළද කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අදානි සමාගම සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මුම්බායි නුවරදී ප්‍රකාශ කර තිබිණි. අදානි සමූහයට දැනට ඉන්දියාවේ තුළ ගුවන් තොටුපළ අටක් පාලනය කරන අතර ඔවුන් ඉන්දියාවේ මගී පදනමෙන් සියයට 23 වෙනුවෙන් සේවය ලබා දෙයි. ඉන්දියාව අවශ්‍ය වන්නේ මේ ආයෝජන වල සුරක්ෂිතභාවය වැඩිකර ගැනීම බව පසුගිය සතියේ සිදුවූ හමුවීම් අනුවද හොඳින් පැහැදිලි වේ. අදානි වරායේ නොනැවතී ගුවන්තොටුපළට එන්නේ දිල්ලි සංචාර අවසන් කර මෙරට පක්ෂ නායකයන් කොළඹ පැමිණෙන විටදීය. සාම්පූර් බලාගාරය ජවිපෙ විරෝධය නිසා අහිමි වූ බව දන්නා ඉන්දියාව ඉදිරියේදී එවැනි පාඩු නොවන්නට වගබලාගෙන තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment