ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කෙරේ

269

මාස එකහමාරක කාලයක් මුළුල්ලේ ගාසා තීරයේ ඇවිලෙමින් තිබූ සටන් තාවකාලිකව නතර කිරීම සඳහා ඉකුත් සිකුරාදා (24දා) දිනයේ ඇති කරගත් සිවු දින සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය විසින් පෙරේදා (28දා) පියවර ගෙන තිබේ. ඇතිකරගෙන තිබෙන සටන් විරාමය යටතේ පෙරේදා (27දා) සවස වන විට ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රාණ ඇපකරුවන්ගෙන් 69 දෙනෙකු පමණ නිදහස් කර තිබූ අතර ඊශ්‍රායලය ද සිරගත කර සිටි පලස්තීන ජාතික සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වී තිබේ. දීර්ඝ කර ඇති සටන් විරාමය යටතේ නිදහස් කරනු ලබන සෑම ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් සිරගත කර සිටින පලස්තීන ජාතිකයන් තිදෙනකු නිදහස් කෙරෙන බව ඊශ්‍රායලය විසින් නිවේදනය කර තිබේ.

මේ අතර ඊශ්‍රායල අගමැති කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 170 දෙනෙකු පමණ ගාසා තීරයේ රඳවා ගෙන සිටින බව හෙළි වී තිබේ. එහෙත් හමාස් සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත්තේ එම සෑම ප්‍රාණ ඇපකරුවකුම සිය භාරයේ නොසිටින බවයි. මේ අතර දීර්ඝ කරන ලද සටන් විරාමය යටතේ පෙරේදා දිනය වන විට පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු ඊශ්‍රායල සිරගෙවල්වලින් නිදහස් කර ඇති අතර එම පිරිස සාදරයෙන් පිළිගැනීමට පලස්තීන වැසියන් විසින් පියවර ගෙන තිබූ බව වාර්තා වේ. මේ අතර දීර්ඝ කරන ලද සටන් විරාමය යටතේ ගාසා තීරයට වැඩි වශයෙන් ආධාර රැගත් ට්‍රක් රථ යැවීමට පියවර ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ. ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා හා හමාස් අන්තවාදීන් අතර පවතින සටන් විරාමය දීර්ඝ කර ඇතත් ඊයේ (28) උදෑසන ගාසා නගරයෙන් දුමක් නැගී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඊශ්‍රායල-හමාස් සටන් විරාමය දීර්ඝ කළ බව නොදත් පලස්තීන කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් මෙම දුම නැගෙන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර සටන් විරාමය යටතේ නිදහස් කෙරුණු තායිලන්ත ජාතික ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙකු නැවත සිය රට ගෙන යෑම සඳහා තායිලන්ත නියෝජ්‍ය අගමැති පාම්ප්‍රි බහිද්දා නුකාරා ඊයේ (28) ඊශ්‍රායලය වෙත පැමිණීමට නියමිතව තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment