වචන තුනයි මරණ එකයි

1121

මීට දවස් දෙක තුනකට පෙර ගම්පහ ගනේමුල්ලේ අමුණුගොඩ පිහිටි නිවසක සාදයක් පැවැත්විණ. එහිදී කට්ටියම කරටි කැඩෙන තරමට අරක්කු බීමට පටන්ගත් අතර ටික වෙලාවකින් පාර්ශ්ව දෙකක් අතර ආරවුලක් ඇතිවිය. එහි ප්‍රතිඵලය ඉතා දරුණු විය. ආරවුල යන අතර සාදයට සහභාගි වෙමින් සිටි නාවික සෙබළෙක් එහි සිටි සිව් මස් ගැබිනි මවකගේ බඩට පයින් ගැසුවාය. එකෙනෙහිම ඇගේ දරු කලලය විනාශ විය. මෙවැනි නීච කිඹුලන්ට දිය යුතු දඬුවමක් ගැන අපේ හිතේ තිබේ. ඒ වූකලී යළි කිසිම දිනයක කලලයක් නිෂ්පාදනය කිරීමට බැරිවන පරිදි විත්තිකරු අල්ලා උගේ කර ඇඹීමය. පත්තරයක් අතට ගත් විට උදේ පාන්දරින්ම කියවන්නට ලැබෙන්නේ මිනී මැරුම්, මං පැහැරීම්, බාලයන් විසින් කරන ලද අපරාධ සහ බාලයන්ට කරන ලද අපරාධ ගැනය. හවසට ටී. වී. එක බැලුවත් සන්තෑසිය එයම වේ. ඒ අතර සමාජ මාධ්‍ය නමැති ඩිජිටල් ප්ලැට්ෆෝර්ම් එකට ගිය විට පත්තරේ සහ රූපවාහිනියේ ගිය ප්‍රවෘත්තිය සිය දහස් ගුණයක් බරපතළ වන ලෙස ව්‍යාජ අමුද්‍රව්‍ය එකතු කර ප්‍රචාරය කරනු දැකගත හැකිය.

ජනසෙත පෙරමුණ නමැති දේශපාලන පක්ෂයක් තිබේ. අප දන්නා පරිදි මේ පක්ෂය අයත්ව තිබුණේ ට්‍රැක්ටරයක නැගී ගමන් බිමන් යන චීවරධාරියකුටය. අද මේ පක්ෂයේ සභාපති නිලන්ත රණසිංහ නමැත්තෙකි. පොතුහැර ගමේ ඉදිකෙරෙන ව්‍යාජ දළදා මාලිගාවට එරෙහිව නිලන්ත රණසිංහ ලොකු භූමිකාවක් කළේය. ඊට පසු, දළදා මාළිගාවේ හොඳ නම කෙළසීම සඳහා චීවරධාරීන් දස දෙනකු විසින් දියවඩන නිලමේතුමාගේ පෞද්ගලික සහකාර ලෙස මාළිගාවට බස්සන ලද නිමල් ෆර්ඩිනැන්ඩු නමැත්තාට පහරදෙමින් නිලන්ත රණසිංහ යූ ටියුබ් වැඩසටහනක් ද කළේය. මේ ළඟදී නිලන්තගේ ගේ අල්ලපු ගෙදර සිටි පුද්ගලයා නිලන්තගේ ගේ දෙසට වෙඩි තැබුවේය. ගෙදර සිටි අසරණ සුනඛයා එකෙනෙහිම මළේය. අල්ලපු ගෙදර මිනිහා කියන්නේ වල් ඌරකු ලෙස සලකා සුනඛයාට වෙඩි තැබූ බවය. මෙවිට අපිට ප්‍රශ්නයක් මතුවෙයි. එහා ගෙදරට වල් ඌරකු නොව අලියකු ආවත් ඒ සතාට වෙඩි තැබීමේ අයිතියක් මෙහා ගෙදර මිනිහාට නැත. යම් හෙයකින් අල්ලපු ගෙදර සිටින පොඩි දරුවකු ගෙවත්තට පැමිණියේ නම් වෙඩි පාර වැදී ඒ දරුවා මිය යන්නට බොහෝ සේ ඉඩ තිබේ. ඒ නිසා අල්ලපු ගෙදර දඩයක්කාරයාට එරෙහිව කිසියම් පියවරක් ගත යුතුය. මේ අතර මීට දෙදිනකට පෙර අඟුලානේ නිවසකට කඩා වැදුණු කඩුකාරයන් හතර දෙනකුගේ ප්‍රහාරයක් නිසා එක් අයකු මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලැබුවේය. මියගිය තැනැත්තා කුඩ්ඩකු බව දැනගන්නට තිබේ. ඔහුට කඩුවලින් කෙටීමට හේතුව කුඩු සිද්ධියක්ද නැත්නම් ජංගම දුරකථනයක් සම්බන්ධ සිද්ධියක්ද යන්න නිරාකරණය කරගැනීමට පොලිසිය වෙහෙසෙයි. ශ්‍රී ලංකාවේ මෑතකාලීන සාපරාධී කතන්දරය මෙතැනින් නොනැවතී. පසුගිය දිනක සිය දරුවන් දෙදෙනා එල්ලා මැරූ පියෙක් තෙමේද එල්ලී දිවි නසා ගත්තේය. ඒ අතර කඳුකරයේ විසූ මවක් සිය දරුවන් දෙදෙනා ළිඳකට දමා මරා තෙමේද සිය දිවි නසා ගැනීම සඳහා බෙහෙත් පෙති අහුරක් පානය කළාය. මෙකල තිබෙන බෙහෙත් පෙති තත්ත්වයෙන් බාල බව පෙනේ. එබැවින් මව මිය ගියේ නැත. ඇය තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.

මේ සියලු කතන්දරවලට වඩා භයානකම කතාව වන්නේ නව යෞවනයන් තිදෙනකු විසින් හෙල්මට් වලින් පහරදී හිස කුඩු කොට 34 හැවිරිදි පියකු මරා දැමීමය. නව යෞවනයන් තිදෙනා මෝටර් සයිකල් කිහිපයක නැගී වෙට්ටු දමමින්ද සර්කස් පෙන්වමින්ද පාර දිගේ ගමන් කළහ. පෙරකී තරුණයා “වේගෙන් යන්න එපා” කියමින් දරුවන්ට අවවාද කළේය. එහිදී හටගත් කතාවක් දුරදිග ගිය අතර අන්තිමේදී නව යෞවනයන් පිරිස තමන් අත තිබූ හෙල්මට් වලින් පෙරකී තරුණයාගේ හිසට පහර දීමට පටන් ගත්හ. හෙල්මට් එකක් පැළඳ සිටින පුද්ගලයකු හදිසි අනතුරකට මුහුණ දුන් විට ඔහුගේ ඔළුව කුඩු වන්නේ නැත. හෙල්මට් එකේ අරමුණ වන්නේද අනතුරකදී හිස කුඩු නොවීමය. එහෙත් හෙල්මට් එකක් නැති ඔළුවකට හෙල්මට් එකකින් පහරදීමෙන් එම හිස කුඩු කළ හැකිය. මේ අනුව නව යෞවනයන් තිදෙනා දැනට රිමාන්ඩ් කූඩුවල ලගිති. මේ තිදෙනාම එකොළොස්වන වසරේ සිසුහු වෙති. හයියෙන් යන්න එපා කී පමණින් එසේ කී එකාගේ ඔළුවට පහරදී එය කුඩු කිරීමට තරම් තත්ත්වයක් හටගන්නේ කෙසේද යන්න ගැන අප තුළ විශාල කුතුහලයක් තිබේ. මෙයින් මතුවන ඊළඟ ප්‍රශ්නය වන්නේ හයියෙන් යන්න එපා කී පමණින් මිනී මරුවන් බවට පත්වීමට නව යෞවනයන් තිදෙනකුට ආත්ම ධෛර්යය ලැබුණේ කෙසේද යන්නය. සමහරවිට මියගිය පුද්ගලයා ස්වකීය අවවාදය ඉදිරිපත් කළ ආකාරයෙහි කිසියම් අවුලක් තිබුණා වත්ද? මෙය අප විසින් හඳුන්වනු ලබන්නේ Presentation Error එකක් ලෙසය. ඒ එක්කම මේ වයසේ සිටින ළමයින්ට උපාසක රාළ කෙනෙක් විසින් අවවාද කරන ලද්දේ වුවද කෝපයක් හටගනී. අනෙක සමාජ මාධ්‍ය ඔස්සේ මේ රටේ දරුවන්ට දකින්නට ලැබෙන දේ මගින් ඔවුන් පොලඹවනු ලබන්නේ මෙවැනි ප්‍රචණ්ඩ තත්ත්වයන් ඇති කිරීමටය. පාසල් සිසුන්ගෙන් ගුටි කා මියගිය පුද්ගලයාගේ බිරිඳ පාසල් ගුරුවරියකි. මිනී මැරූ ශිෂ්‍යයන් තිදෙනා එම බිරිඳ ඉගැන්වූ පාසලේම උගත් අය වූහ. 1970 අවුරුද්ද වනතුරු සිසුන් විසින් ගුරුවරයකුට හෝ වැඩිහිටියකුට පහරදෙනු ලැබීම කිසිවකු විසින් නොඅසනා ලද කාරණයකි. අපගේ මතකය නිවැරදි නම් ශ්‍රී ලංකාවේ මුල් වතාවට සිසුන් පිරිසක් විසින් මග රැක සිට සිය පාසලේ ගුරුවරයකුට පහරදෙනු ලබන්නේ 1975 දීය. මෙය බස්නාහිර පළාතේ පිරිමි විදුහලකින් වාර්තා වූ සිද්ධියකි. ගුටි කෑ ගුරුවරයා පාසලේදී ශිෂ්‍යයන් විෂයෙහි දරදඬු ප්‍රතිපත්තියක් ඇතිව ජීවත් වූ අයෙකි. ඔහු ඉතා කුඩා දේටත් සිසුන්ට පහර දුන් අතර සිසුන්ගේ ආත්ම ගෞරවය විනාශයට පත්වන පරිදි බැන වැදීමට පුරුදුව සිටි මහතෙකි. අනතුරුව එම ගුරුතුමාගෙන් අපහරණය වූ සිසුන් දෙදෙනෙක් මහ පාරේදී මෙම ගුරුතුමාට පහරදීමේ කොන්ත්‍රාත්තුව වෙනත් පාසලක සිටි මැර සිසු පිරිසකට භාර කළේය. ඒ සඳහා මුදල්ද ගෙවන ලදී. සිසුන් විසින් තවත් සිසුන් පිරිසකට ප්‍රචණ්ඩ කොන්ත්‍රාත්තුවක් සඳහා මුදල් ගෙවූ පළමුවන අවස්ථාව මෙය විය හැකිය. මෙවැනි සිද්ධීන් ක්‍රමයෙන් වර්ධනය වන්නේ රූපවාහිනිය සමාජ මාධ්‍ය සහ දිනපතා අහන්නට ලැබෙන මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ සිද්ධීන්ට අනුවය. මේ සිද්ධියෙන් මියගිය තරුණයා ස්වකීය මරණය වෙනුවෙන් පාවිච්චි කළේ “හයියෙන් යන්න එපා” යන වචන තුන පමණක් බව නැවතත් සිහිපත් කරමු. ඒ අනුව “එම වචන 3 = මරණ 1 යන” ප්‍රතිඵලය දෙස ඉමහත් කලකිරීමෙන් බැලීමේ අවාසනාවන්ත අවස්ථාව අපට හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment