අවුරුදු 3400 ක් පැරැණි සිප්පි එකතුව යාපනෙන් ප්‍රථම වරට හමු වූ ප්‍රාග් ඓතිහාසික මානව සාධක…

දකුණ, වයඹ, යාපනයේ වෙරළ ආශ්‍රිත පුරාවිද්‍යා කැණීම්වලින් ඓතිහාසික තොරතුරු රාශියක් හමු වෙයි…

යාපනයේ මුල්ම ජනාවාසකරණය දකුණු ඉන්දියාවෙන් පැවත එන මතය වෙනස් වෙයි…

දකුණු ආසියාවේ පැරැණිතම සිප්පි කසළ තැම්පතුව මන්නාරමෙන් සොයා ගැනේ…

උතුරේ ඉතිහාසය අලුත් වේ. කයිට්ස් දූපත යනුවෙන් ප්‍රසිද්ධ යාපනයේ වේලනෙයි දූපතේ චට්ටි වෙරළ තීරයට කිලෝ මීටරයක් පමණ ඔබ්බෙන් අවුරුදු 3400 ක් පමණ පැරැණි ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමු වී තිබේ. ඒ නෙදර්ලන්තයේ ග්‍රොනින්ගන් විශ්වවිද්‍යාලය හා අනුබද්ධව රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලංක සිරිවර්ධන, ඉන්දික ජයසේකර, ජනීනා නෝනිස් සහ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ නදීර දිසානායක ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරගෙන යන පුරාවිද්‍යා පර්යේෂණයේදී වේලනෙයි දූපතෙන් විශාල සිප්පි කසළ එකතුවක් සොයාගැනීමත් සමඟය. ඒ අනුව යාපනය අර්ධද්වීපයෙන් තහවුරු කරන ලද ප්‍රාග් ඓතිහාසික මානව සාධක සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

මෙරට ඓතිහාසික වෙරළ සම්පත් භාවිතය සහ මුහුදු බෙල්ලන් සම්බන්ධ භාවිතමය ප්‍රවණතා පිළිබඳව සිදුකරගෙන යන මෙම පර්යේෂණය ආරම්භ කර ඇත්තේ 2009 වර්ෂයේදීය. මෙරට දකුණු දිග වෙරළ කලාපයෙන් ආරම්භ කර ඇති එම පුරාවිද්‍යා පර්යේෂණය, දෙවනුව වයඹ දිග වෙරළ කලාපයෙත් තෙවනුව යාපනය අර්ධද්වීපයේ වේලනෙයි දූපතේ සිදු කරන ලද කැණීම්වලින් පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා ඓතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම යාපනයේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස නොමැති බවට වූ විද්වත් අදහස් සහ යාපනයේ මුල්ම ජනාවාසකරණය දකුණු ඉන්දියානු මහා ශිලා සංස්කෘතියට අයත් ප්‍රජාවක් විසින් සිදු කරන්නට ඇතැයි යන අදහස කයිට්ස් දූපතෙන් සොයාගත් සිප්පි කසළ එකතුවත් සමඟ වෙනස් වී තිබේ. මොහොතකට අපේ කතාව නතර කර ඒ මහා ඓතිහාසික පෙරළිය සිදු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලංක සිරිවර්ධන කියන කතාවට අපි සවන් දුන්නෙමු.

උතුරේ ඉතිහාසය වෙනස් කරන සිප්පු කටු එකතුව

“2009 අවුරුද්දෙ ඉඳලා කරපු පර්යේෂණවලදී, යාපනය සහ ඒ අවට දූපත්වල ප්‍රාග් ඓතිහාසික සාධක නැති වෙන්න බෑ කියලා අපිට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වගේම යම් සාධකයක් හමු වේ නම් ඒ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලින් බවත් අපි විශ්වාස කළා. ඒකට හේතු වුණේ අවසාන ග්ලැසියර උච්ඡත්වයෙන් පසු මුහුදු මට්ටම ක්‍රමිකව වෙනස්වීම නිසා වඩාත් පැරැණි සාධක මුහුදට යට වී තිබීම. ඒ නිසා අපට සාධක ලැබෙන්නෙ මුහුදු මට්ටම අද තියෙන මුහුදු මට්ටමට ස්ථාවර වූ පසුව සකස් වූ ක්‍ෂේත්‍රවල. එවැනි පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් හඳුනාගෙන තියෙනවා. වේලනෙයි දූපතේ චට්ටි වෙරළ තීරයෙත් ස්ථාන කිහිපයකදී පැරැණි මානව ජනාවාස පැවැති බවට සාධක වන සිප්පි කසළ තැන්පතු පරීක්‍ෂා කළා. අනතුරුව තමයි මේ පුරාවිද්‍යා ස්ථානය කැණීම් කරන්න තීරණය කළේ…” කථිකාචාර්ය තිලංක සිරිවර්ධන මහතාව මොහොතකට අපි නිහඬ කළෙමු.

උතුරේ ඉතිහාසය වෙනස් කරන සිප්පු කටු එකතුව

යාපනයේ වේලනෙයි දූපත විශාල භූමි භාගයකි. එමෙන්ම යාපනයේ දූපත් අතරින් විශාලතම දූපතකි. කයිට්ස් ග්‍රාමය පිහිටා ඇත්තේ එම දූපතේ උතුරේ කෙළවරේය. ඕලන්ද ජාතිකයන් විසින් පටබැඳි කයිට්ස් නාමය, වේලනෙයි දූපත් නාමය යටපත් කරගෙන ප්‍රසිද්ධ වී ඇති බව සැබෑය. වේලනෙයි දූපතට යාපනයේ නගරයේ සිට දුර ප්‍රමාණය කිලෝ මීටර් දහතුනකි. එම මාර්ගය වැටී ඇත්තේ නාගදීපයට ගමන් කරන මාර්ගයේ ය. දෙස්, විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් වසඟයට පත් කරවන සුළු අති රමණීය පරිසර පද්ධතියකින් සුන්දර වූ වේලනෙයි දූපත මෙන්ම චට්ටි වෙරළ තීරය ද යාපනය අර්ධද්වීපයේ පවතින අති සුන්දරම වෙරළ තීරයකි. එම වෙරළ තීරය ඓතිහාසික අවධියේ වරාය මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බවට ද සාධක හමු වී තිබේ. චට්ටි වෙරළ තීරය ආසන්නයේ පවතින වැලි කඳු අතර ඓතිහාසික අවධියේ ජනාවාස පිළිබඳ යම් සාධක හමු වෙමින් තිබෙන බව ද වාර්තා වේ. පසුගිය කාලයේදී ජෝන් කාසල් සහ මහාචාර්ය කුෂාන්ත ගුණවර්ධන, රොබින් කොනින් හැම් ඇතුළු පිරිස විසින් වේලනෙයි දූපතේ නැගෙනහිර අල්ලෙයි පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණ තුළින් චීන මැටි බඳුන් පිළිබඳ සාධක සොයාගෙන තිබෙන බව ද වාර්තා වේ. එහෙයින් වේලනෙයි දූපත මෙරටට ඓතිහාසික වශයෙන් ද අතිශය වැදගත් දූපතකි.

එමෙන්ම කථිකාචාර්ය තිලංක සිරිවර්ධන ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් වේලනෙයි දූපතේ චට්ටි වෙරළ තීරය ආසන්නයෙන් සොයාගත් සිප්පි කසළ එකතුව ද මිනිසුන් විසින් පරිභෝජනය කරන ලද බෙල්ලන්ගේ කවච එකතුවක් ලෙස හැඳින්විය හැකිය. ලෝකයේ ඇතැම් රටවල මෙවැනි සිප්පි තැන්පතු විශාල ගොඩැලි වශයෙන් ද සොයාගෙන තිබේ. එමෙන්ම මේ සිප්පි තැන්පතුවල පැරැණි ප්‍රජාව ආහාරයට ගත් වෙනත් සතුන්ගෙ අවශේෂ, මෙවලම් සහ මෘත දේහ භුමදානය පිළිබඳවත් සාධක හමු වී තිබේ. මීට පෙර මෙරටින් මෙවැනි සාධක හමු වී තිබුණේ දකුණු මුහුදු තීරයෙන් පමණි. එම පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක දැනට දකුණු ආසියාතික රටකින් හමු වී ඇති අතිශය වැදගත් පුරාවිද්‍යා තොරතුරු බව ද වාර්තා වේ. එමෙන්ම මේ පුරාවිද්‍යා සාධක අධ්‍යයනයෙන් වෙරළ ආශ්‍රිත ජීවත් වූ පැරැණි මිනිසුන්ගේ යැපීම් රටාව ප්‍රතිනිර්මාණයේ සිට ඔවුන් වාසය කළ පරිසරය, දේශගුණික වෙනස්වීම්, සෘතුමය පදනම ආදීය තොරතුරු අනාවරණය කරගත හැකි බවද කථිකාචාර්ය තිලංක සිරිවර්ධනයන් පෙන්වා දුන්නේය. එමෙන්ම දැනට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණවල ප්‍රතිඵලයන් ලෙස මුහුදු බෙල්ලන්ගේ අවශේෂ කොටස්වලට අමතරව කැස්බෑවන්, මත්ස්‍යයන් සහ වෙනත් ගොඩබිම් සත්ත්වයන්ගේ අස්ථි, ශිලා මෙවලම් සහ අස්ථි මෙවලම් ද සොයාගැනීමට හැකි වූ බව තිංලක සිරිවර්ධනයන් සිහිපත් කළේය.

මෙරට ප්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳව දැනට පවතින මෑත කාලීන සාධක වන්නේ මාන්තායිවලින් ක්‍රිස්තු පූර්ව 1600 ට දාතම වූ සාධකය. කයිට්ස්වලින් සොයාගත් සිප්පි එකතුවේ දින නිර්ණ සමඟ මෙරට ප්‍රාග් ඓතිහාසික යුගය තවත් වසර දෙසීයකින් පමණ මෑත අවධියකට රැගෙන එන්නට සමත් වී තිබේ. ඒ අනුව පූර්ව ඓතිහාසික යකඩ යුගයත්, මධ්‍ය ශිලා සංස්කෘතියත් අතර කාල පරතරය තවත් අඩු වෙනවා මෙන්ම මෙතෙක් යාපනයේ ‘කන්තරෝදය’ වැනි ස්ථාවර ජනාවාස ආරම්භවීම සහ එම ස්ථානවලින් ලැබුණු කෘෂි, වෙළෙඳ, යැපුම් රටාවක් සහිත සංස්කෘතික සාධකවලට වඩා වෙනස් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ද හැකි වී තිබේ. වේලනෙයි දූපත වෙත විටින් විට සංක්‍රමණය වූ ප්‍රාග් ඓතිහාසික ජන කොටසක් පිළිබඳ ලැබෙන මේ සාධක, එම සංක්‍රමණිකයන් සංක්‍රමණය සඳහා යම් යාත්‍රා තාක්‍ෂණයක් භාවිත කර ඇති බවට වූ අනගි සොයාගැනීමක් වන බව ද සැබෑය. මීට පෙර යාපනයෙන් සොයාගෙන නොමැති ‘තිරිවාණා’ ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් රැගෙනැවිත් ඇති බවට ද සාධක හමු වී තිබේ. එමෙන්ම ප්‍රාග් ඓතිහාසික සංක්‍රමණිකයන් විසින් හෙලි, ඇවුලුම් බිලි, බිලී කොකු සඳහා භාවිත කළ අස්ථි උල් පිළිබඳ සාධක ද හමු වී තිබේ. එවැනි ආකාරයේ මෙවලම් භාවිත කරමින් අදට ද අන්දමන් දූපත්වාසී ගෝත්‍රික ජනතාව මත්ස්‍යයින් හා වෙනත් සමුද්‍ර ජීවීන් අල්ලා ගන්නා බවද වාර්තා වේ. ඔස්ටේ්‍රලියාවේ ඇබොරිජිනල්වරුන් ද එම තාක්‍ෂණය භාවිත කරමින් මත්ස්‍යයන් බීලි බාන බව වාර්තා වේ. ඒ අනුව කයිට්ස් දූපතෙන් ලැබෙන ප්‍රාග් ඓතිහාසික තොරතුරු මත සංක්‍රමණික පැරැණි මානවයා සමුද්‍රීය සම්පත් පමණක් නොව, ගොඩබිම් සම්පත් ද පරිභෝජනය කරන්න ඇතැයි උපකල්පනය කරන බවද කථිකාචාර්ය තිලංක සිරිවර්ධනයන් පැවසුවේය.

“වර්තමානයේ යාපනයේ ශුෂ්ක පාරිසරික තත්ත්වයක් තිබුණට ප්‍රාග් ඓතිහාසික අවධිය තුළ තිබුණු පරිසර තත්ත්වය ඊට හාත්පසින් වෙනස්. ක්‍රිස්තු වර්ෂ 1700 වන විට යාපනය තුළ සතුන් ගහන ශාකායනයක් පැවති බවට ලිඛිත වාර්තා පවා තිබෙනවා. එම ගොඩබිම් සම්පත් වගේම සමුද්‍රීය සම්පත් පරිභෝජනය කරමින් යාපනයේ දූපත් සහ ගොඩබිම අතර යාත්‍රා කරමින් දිවි ගෙවූ මානව ප්‍රජාවක් ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ බව මේ සාධකවලින් උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාවෙන් පැමිණි වෙළෙඳ යාත්‍රික නාවිකයන් ලංකාව තුළ ඉන්දීය සංස්කෘතිය ස්ථාපිත කළා කියන මතය කයිට්ස්වලින් සොයාගත් පුරාවිද්‍යා සාධක සමඟ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මෙරට වාසය කළ සමුද්‍ර යාත්‍රික ප්‍රාග් ඓතිහාසික මානවයා ඉන්දියාවත් සමඟ යම් සම්බන්ධතා පවත්වා ඇති බවත් එම සාධකවලින් ඉස්මතු වෙනවා. ඒ වන විට දකුණු ඉන්දියාව දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වී තිබුණු විවිධ වෙනස්කම් කෘෂි, වෙළෙඳ හා පශු පාලනය ගැන යාපනයේ ජීවත් වූ සමුද්‍ර යාත්‍රිකයන්ටත් යම් අදහසක් ලැබී සංස්කෘතික වෙනසකට අවතීර්ණය වී ඇති බවත් උපකල්පනය කරන්න පුළුවන්. එසේ යම් වෙනසකට ලක් වෙමින් සිටි ජන ප්‍රජාවක් වෙත පසුකාලීනව ඉන්දීය සංස්කෘතික ආභාෂය සෘජුව ගලා ආ බව විශ්වාස කරන්න පුළුවන්. එම සංස්කෘතික ප්‍රවාහය දෙඅතටම ක්‍රියාත්මක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ පර්යේෂණවලින් ලැබුණු සාධකවලට අනුව ලංකාවේ වෙනත් සමකාලීන ප්‍රජාවන්ට වඩා කයිට්ස් චට්ටි වෙරළ ආශ්‍රිත ජීවත් වූ මානවයා යම් අනුවර්තනයක් පෙන්නුම් කරනවා. එහෙම කියන්න විශේෂ හේතු තියෙනවා…”

“අපේ පර්යේෂණ කටයුතු ආරම්භක අවදියේදී හුංගම කළමැටිය ප්‍රදේශයෙන් ක්‍රි. පූ. 1450 යුගයට අයත් සිප්පි කසළ තැන්පතුවක් සොයාගත්තා. ඒ සිප්පි එකතුව ශිලා මෙවලම්, තාක්‍ෂණයකින් යැපීම් සිදු කළ ජන ප්‍රජාවකගේ බව හඳුනාගැනීමට සාධක තිබුණා. කයිට්ස් දූපත්වාසීන්ගේ තාක්‍ෂණික මෙවලම් අතර අස්ථි උල් ප්‍රකටයි. එයින් ගම්‍ය වන්නේ ඔවුන් එම කලාපීය පාරිසරික තත්ත්වයන් යටතේ දීර්ඝ කාලීනව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ වගේම මේ යාත්‍රා තාක්‍ෂණය හිමි පැරැණි මානවයන් ලංකාවේ පමණක් නොව ඉන්දියාවෙත් ජීවත් වෙලා තියෙනවා. රතු මුහුදෙ ෆර්සාන් දූපත ආශ්‍රිතව මීට වඩා පැරැණි සාධක හමුවෙනවා. මේ සියල්ල කැටි කොට ගත්තම ඉන්දියානු සාරගයේ වෙරළ තීරය දිගට වාසය කළ විවිධ ජන කොටස් අතර වෙරළබඩ අන්තර් ක්‍රියාකාරීත්වයක් සිදුවන්නට ඇති බවත්, පසුකාලීනව ඉන්දියානු සාගරයේ වර්ධනය වූ සංකීර්ණ වෙළෙඳ රටාව සහ සංස්කෘතික ව්‍යාප්තියේ මූලාරම්භය මෙවැනි සීමිත සම්පත් මත පදනම් වූ ප්‍රජාවක් අතරින් පැන නගින්නට ඇති බවත් ගම්‍ය වෙනවා. අපේ රටේ වෙළෙඳ අගය ඇති කිරීමේ මුල් ගෞරවයත් ඔවුන්ට හිමි වෙනවා. ඒ වගේම ආනෛයි කොඩ්ඩයි, කන්තරෝදෙයි මුල් ජනාවාසකරණයට දායක වන්නට ඇත්තේ කයිට්ස් වෙරළ ආශ්‍රිත යැපුම් රටාවෙහි යෙදුණු සමුද්‍ර යාත්‍රික ප්‍රාග් මානව ප්‍රජාව විය හැකි බවත් උපකල්පනය කරන්න පුළුවන්. එම ස්ථාන තුන ආශ්‍රිතව ඇති පානීය ජලය සහ කෘෂිකර්මාන්තයට යෝග්‍ය භූමිය යාපනයේ වෙනත් ස්ථානවලට වඩා මානව පැළපදියම්කරණය කෙරෙහි ඉතාම සාධනීය බව පෙන්නුම් කරනවා. ඒ නිසා කයිට්ස් දූපතෙන් සොයාගත් ප්‍රාග් ඓතිහාසික සාධක යාපනයේ මුල් ජනාවාසකරණයෙන් ඔබ්බට ගිහින් මධ්‍ය ශිලා සංස්කෘතියත්, මුල් යකඩ සංස්කෘතියත් අතර ඇති වූ සංක්‍රාන්තිය හැදෑරීමට වගේම ඉන්දියානු සාගරයේ ජනයා සයුරු ගමනයේ යෙදෙමින් සංචරණය වෙච්ච ආකාරය හැදෑරීමට තොරතුරු සම්පාදනය කරනවා. ක්‍රි. පූ. 700 පමණ වන විට කන්තරෝදය, කොක් . එබේ වගේම ක්‍රි. පූ. 1000 පමණ වන විට අනුරාධපුරයෙන් හමු වන යකඩ සංස්කෘතික අවිධියේ විකාශනයට මූලිකත්වය ලබා දී ඇත්තේ මේ වෙරළ ආශ්‍රිත ප්‍රජාව බවට විශ්වාස කරනවා…” දීර්ඝ අදහස් ඉදිරිපත් කිරීමකින් පසු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලංක සිරිවර්ධනයන් නිහඬ විය.

උතුරේ ඉතිහාසය වෙනස් කරන සිප්පු කටු එකතුව
ගවේශණ කටයුතු කරන අයුරු

ඔහු ඇතුළු පර්යේෂණ කණ්ඩායම දැනට සොයාගෙන ඇති සාධකවලට අනුව බොහෝවිට දකුණු ආසියාවේ පැරැණිතම සිප්පි කසළ තැන්පතුව මන්නාරම ආශ්‍රිත ප්‍රදේශයකින් හමු වී ඇති බවද වාර්තා වේ. එම ක්‍ෂේත්‍රය සම්බන්ධ රේඩියෝ කාබන් කාලනිර්ණ පරීක්‍ෂණ සිදු කර ඇති අතර එම දත්ත වැඩි දුරටත් තහවුරු කිරීම සඳහා ඔස්ට්‍රියානු පර්යේෂකයන් සමඟ තාපසම්දීප්තා ක්‍රමය මගින් කාල නිර්ණ පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතින බවද වාර්තා වේ. නුදුරේදීම එම තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට හැකි බව ද ඔවුහු අප සමඟ පැවසූහ. එමෙන්ම කයිට්ස් දූපතේ සිප්පි කසළ තැන්පතුවේ පහළම ස්ථරයෙන් අදින් වසර 6000 ට පමණ පෙර පැවැති උපයෝගීතාව පිළිබඳ අවිනිශ්චිත සාධක හමු වන අතර මෙම කැණීමට සමගාමීව පුන්කුඩුතිව් දූපතේ සිදු කරන ලද කැණීමෙන් ක්‍රි. පූ. 5 . 8 සියවස් අතර කාලයට අයත් සිප්පි තැන්පතු සහ එහි පහළ මට්ටම්වලින් ක්‍රි. පූ. 28000 පමණ සිදු වි ඇති පාරිසරික වෙනස්කම් පිළිබඳ සාධක ද අනාවරණය වී ඇති බව වාර්තා වේ. එම සාධක සමඟ දකුණු ආසියාවේ සමුද්‍ර ආශ්‍රිත සම්පත් පරිහරණය, ඒ මගින් ප්‍රාග් මානවයින් දකුණු ආසියාව හා අග්නි දිග ආසියාව වෙත සංක්‍රමණයවීම සඳහා වෙරළ තීරය උපයෝගි කරගෙන ඇති ආකාරය ආදීය පිළිබඳ තිබූ ගැටලු රාශියකට කයිට්ස් සිප්පි තැන්පතුවෙන් පිළිතුරු ලැබෙන බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලංක සිරිවර්ධනයන් පෙන්වා දුන්නේය.

එමෙන්ම මේ පර්යේෂණය සඳහා නෙදර්ලන්තයේ ග්‍රොනින්ගන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයේ ආචාර්ය ජනාන් චකීලා, යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිවරූබි හා එම අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන්ගේ සහාය ද හිමි වූ බව තිලංක සිරිවර්ධන පැවසුවේය. පුරාවිද්‍යා පර්යේෂණ සඳහා අරමුදල් සපයන ලද්දේ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ AHEAD ලෝක බැංකු ප්‍රදානය සහ Groningen විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ අරමුදලෙන් බව ද හේ සඳහන් කළේය. එමෙන්ම වෙරළ ආශ්‍රිත කලාපවල සිදු කරගෙන යන පුරාවිද්‍යා කැණීම්වල කටුක බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලංක සිරිවර්ධනයන් සිහිපත් කළේය. එහෙත් ඕනෑම අසීරු ව්‍යායමක් අවසානයේ ලැබෙන ප්‍රතිඵල විශිෂ්ට බව අප එම පර්යේෂණ කණ්ඩායම විසින් ඔප්පු කර ඇති බව පෙනේ.

පෙළගැසෙන කතාව අවසානයේ මේ වචන ටිකත් එකතු කර තැබීමට මගේ සිත බල කරමි. උතුරු, නැගෙනහිර භූමිය කොල්ල කෑමට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන කල්ලතෝනීන්ට මුදල්, බලය මත මේ රටේ දේශපාලකයන් බිලි බාගෙන නැති උරුමයක් පැළ කිරීමට උත්සාහ දැරීමට හැකිය. එහෙත් ඉතිහාසය වෙනස් කිරීමට නොහැක. එය මකා දැමීමට දරන සෑම උත්සාහයකදීම පෙරටත් වඩා හොඳින් ඉස්මතු වන බව උරුමයක් නැති කල්ලතෝනී හොඳින් අවධාරණය කරගත යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment